Feb 27, 2018

ක්‍රිකට් විනිසුරු ශ්‍රේණිගත කිරීම් විභාගයත් අවුලක !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යෝජනා කර ඇති ක්‍රිකට් විනිසුරුවරුන් ගේ ශ්‍රේණිගත කිරීමේ විභාගය සඳහා ක්‍රිකට් විනිසුරුවන් සිය විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.

මාර්තු 05දා පැවැත්වීමට නියමිත මෙම විභාගයට පෙනී සිටීම සඳහා පසුගිය 23 දිනයේදී සුදුසුකම් ලත් සියළු විනිසුරුවරුන් හට ලියුම් යොමුකර ඇත.

කෙසේවෙතත්, ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් panel 1 හා 2 හි සියළුම විනිසුරුවන් මෙන්ම panel 3 හි විනිසුරුවන් දසදෙනෙකු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙම විභාගයට එරෙහිව සිය විරෝධය පළ කර තිබේ.

විභාග දිනය සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති ඔවුන් පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට කාර්යාලීය නිවාඩුවක් නොවන දිනයකදී මෙවැනි විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. විනිසුරුවරුන් බොහොමයක් රාජ්‍ය අංශය තුළ සේවය කරන බැවින් මේ සඳහා නිවාඩු අනුමත කරගැනීම අසීරු වනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි. විභාග පනත යටතේ මසක කාලයකට පෙර නිසි දැනුම්දීමක් සිදුකළ යුතු වුවද මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ විභාගයට සතියකට පෙර යැයි ඔවුන් වැඩිදුරටත් චෝදනා කරයි.

මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ ක්‍රිකට් ක්‍රීඩා සමයක් මධ්‍යයේ මෙවැනි විභාගයක් පැවැත්වීම සදාචාරාත්මක නොවන බවයි. මේ වන විට පාසල් ක්‍රිකට් සමය ආරම්භ වී ඇති බැවින් හා ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පවත්වනු ලබන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියද පැවැත්වෙන බැවින් විනිසුරුවරුන් හට විභාගයක් සඳහා පාඩම් කිරීමට අපහසු බව එහි දැක්වේ.

තවද, විභාගයට පෙරාතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොළඹ දී සම්මන්ත්‍රණයක් කොළඹ දී පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද මෙවර එවැන්නක් සිදුනොවූ බවද ඔවුන් චෝදනා කරයි.

මේ අතර, මෙරට ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් මාටින්ස් හා විමලසිරි යන විනිසුරුවන් දෙදෙනා හට විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නොමැති බව පවසා ඇත්තේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් ප්‍රශ්ණ කර සිටියි.

මෙම ලිපිය මගින් විනිසුරුවන් ගේ කමිටුව හා එහි කළමනාකරු වන කේ. මතිවානන් දැඩි ලෙස විවේචනය කර ඇති විනිසුරුවරුන් පවසා ඇත්තේ විභාගයකට පෙනී සිටීමට ඔවුන් අවශ්‍ය වේලාවක සූදානම් වුවද, විනිසුරුවන් ගේ කමිටුව හා එහි කළමනාකරු පිළිබඳව තමාට කිසිඳු විශ්වාසයක් නොමැති බවයි.

(ක්‍රිකට්ඒජ්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top