වසරේ පළමු මාස තුනනේදී සූර්යා පොළොවට වඩාත් ආසන්නව ගමන් කිරීම නිසා අධික අව් රශ්මියක් පතනය වේ. බොහෝමයක් පාසල්වල ක්‍රීඩා උත්සව පෙබරවාරි මාසයේදී පවත්වන අතර මේ හේතුවෙන් වසර ආරම්භයේ පටන් සිසුන් ක්‍රීඩා පුහුණුවීම් කටයුතුවල නිරත වේ. එහිදී දරුවන් පැය ගණන් තද අව්වේ ක්‍රීඩා කරයි.
තවද මේ නිසා අධ්‍යාපන කටයුතුද මඟ හැරෙන අතර වාරයට නියමිත විෂය නිර්දේශය උගන්වා සම්පූර්ණ කිරීමට බොහෝ විට නොහැකි වී ඇත. කෙසේ වෙතත් පවතින දේශගුණ තත්ත්වය සලකා බලා නිවාසාන්තර ක්‍රීඩා උත්සවය දෙවන වාරයට රැගෙන යන ලෙස දෙමව්පියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
මේ පිළිබඳව "ශ්‍රී ලංකා මිරර්" කළ විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා කියා සිටියේ දෙමාපියන්ගේ එම ඉල්ලීම හා එකඟ වන බවයි. ක්‍රීඩා අධ්‍යාපනය පන්ති කාමරය තුළ ලබා දෙන අධ්‍යාපනයට සමාන්තරව ලබා දිය යුතු බවත් ක්‍රීඩාවෙන් අධ්‍යාපනයට හෝ අධ්‍යාපනයෙන් ක්‍රීඩාවට හෝ බාධාවක් සිදු නොවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
අවුරුද්දේ පළමු වාරයම ක්‍රීඩාවට නොයොදවා වසර පුරා සමබර අධ්‍යාපනයක් ලබා දිය යුතු බවද හෙතෙම කියා සිටී. බොහෝවිට පළමු වාරයට වඩා දෙවන වාරයේ දේශගුණික තත්ත්වය යහපත් වන බැවින් පාසල් ක්‍රීඩා උත්සවය දෙවැනි වාරයේ පැවැත්වීම සුදුසු බව ඔහු කියා සිටී.
මෙම යෝජනාව පිළිගත හැකිද යන්න පිළිබඳව විමසීම සඳහා අප අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සම්බන්ධ කරගැනීමට උත්සහ කළද එම උත්සහය ව්‍යර්ථ විය.