Mar 23, 2018

මෙන්න ලැබ්බගෙ ගොබ්බ වැඩ

මේ මස අවසානයේ ආරම්භ කෙරෙන ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් පළාත් ක්‍රිකට් සිව්දින තරඟාවලිය සඳහා කණ්ඩායම් හතරකට ක්‍රීඩකයන් තෝරාගැනීමේ අපිළිවෙල ගැන ක්‍රීඩා සමාජ නිලධාරීන් හා ක්‍රීඩකයන් රැසක් තම අප්‍රසාදය පල කර ඇත.

ග්‍රැහැම් ලැබ්‍රෝයි ප්‍රමුඛ තේරීම් කමිටුව මගින් මෙම තේරීම් සිදුකර ඇති අතර අවසාන තේරීම් සිදු කරද්දී ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා ශ්‍රී ලංකාවේ සිට නොමැත. ඔහු මේ දිනවල හරාරේහි පැවැත්වෙන ලෝක කුසලාන අවසන් වටයට තෝරා ගැනීමේ තරඟාවලියේ තරඟ තීරකවරයෙකු ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ තේරීම් කමිටු සභාපතිවරයා වුවද මෙරට තරඟාවලි සහ ක්‍රීඩක දක්ෂතා නැරඹීමට වඩා ICC තරඟ තීරක කටයුතුවලට කාලය මිඩංගු කරන ලැබ්‍රෝයි මහතා පසුගිය 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලිය සඳහා තේරීම් කමිටු සාමාජිකයෙකු හා නිරීක්ෂකයෙකු ලෙස නවසීලන්තයට ගොස් සති තුනකට ආසන්න කාලයක් එහි ගත කළ අතර එහිදීද වැරදි තේරීම් සිදුකොට ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි කර දුන්නේය.

කුසලතා පිරි තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙවර පළාත් තරඟාවලියට තෝරාගෙන නොමැති අතර ඉදිරියේදී කිසිසේත් ශ්‍රී ලංකාව නයෝජනය කරතැයි අපේක්ෂා කළ නොහැකි හිටපු වයෝවෘද්ධ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු තෝරාගෙන තිබීම බොහෝ දෙනාගේ විමතියට හේතුවී තිබේ.

ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟවලදී වේග පන්දු යවන්නන් දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් දේශීය තරඟවල දක්ෂතා දැක්වූ ලසිත් මාලිංගට අවස්ථාවක් ලබා නොදීමට කටයුතු කිරීම සම්බන්ධවද ලැබ්‍රෝයි මහතා ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි දොෂ දර්ශනයට ලක්විය.

ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබමින් ICC තරඟ තීරක රැකියාවට මුල් තැන දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනාගතය අවතක්සේරු කරන ලැබ්‍රෝයි මහතාගේ මෙම පැවැත්ම ගැන ක්‍රීඩා ඇමතිවරයාද මුනිවත රකින අතර තරග පරාජයන්ට හේතුව කණ්ඩායම් නායකයා භාර ගත යුතු බව පසුගියදා පැවසීය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top