Dec 09, 2016

"තරගයක් දිනන්න ශ්‍රේණිගතකිරීම් අදාළ නෑ"

තරගයක් ජයග්‍රහණය කිරීමට ශ්‍රේණිගත කිරීම්වල ක්‍රීඩකයන් සිටිය යුතු නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි.

කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන්නේ නම් වගකීම් නිවැරැදිව ඉටු කරන්නේ නම් ශ්‍රේණිගත කිරීම්වල පළමු පස්දෙනා අතරේ හෝ පළමු දසදෙනා අතරේ හෝ සිටීම වැදගත් සාධකයක් නොවන බව මැතිව්ස් කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එළැඹෙන දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරය සම්බන්ධව ඊයේ (08) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ නායකයා මේ බව කියා සිටියේය.

‘දකුණු අප්‍රිකාව ඉතා දක්ෂ කණ්ඩායමක්. ඔවුන් මේ දවස්වල සෑහෙන ඉහළ දස්කම් අතරේ සිටිනවා. නමුත් ඒ ගැන හිතන්නේ නැතිව කණ්ඩායමක් හැටියට එහේ ගිහිල්ලා උපරිම අයුරින් දස්කම් දැක්විම තමයි අපේ අරමුණ.‘ ඔහු කීවේය.

මේ අතර දකුණු අප්‍රිකානු සංචාරය සඳහා 24 හැවිරිදි නවක වේග පන්දු යවන්නකු වන විකුම් සංජය තෝරා ගෙන තිබේ.

පසුගියදා නිමාවට පත්වූ වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරතවූ විකුම් මෙවර සංචාරයට එක්වන්නේ නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීරට අමතරවය.

ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය සිම්බාබ්වේ සංචාරයට එක්නොවූ ටෙස්ට් පිලේ නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ උපනායක දිනේෂ් චන්දිමාල් යළි කණ්ඩායමට එක්වී සිටිති.

සිම්බාබ්වේ සංචාරයට එක්වී කැපී පෙනෙන දස්කම් පෑ අසේල ගුණරත්නට සහ නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ ස්ථාන අහිමිවී තිබීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා පිල හෙට (10) දකුණු අප්‍රිකාව බලා පිටත්වයාමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම - ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උපනායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා. කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, විකුම් සංජය බණ්ඩාර, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top