Sathosa

Apr 30, 2018

ෆයිසර්ගේ ක්‍රිකට් අතුරු කමිටුවෙත් හිලක් !

වැඩබලන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පත් කළ ක්‍රිකට් අතුරු කමිටුව නිත්‍යානුකූල නොවන බව මේවන විට හෙළිව තිබේ.

ඒ ක්‍රීඩා පනතට අන්තර්ග්‍රහණය කර ඇති නව රෙගුලාසි අනුව මෙවැනි ගැටලු මතු වූ ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධිත සෑම ක්‍රීඩා සංගමයකටම අතුරු කමිටුවක් දැමීමේදී ක්‍රීඩා අමාත්‍යාංශ නියෝජිතයෙකු පත්කළ යුතු බැවිනි.

විශේෂයෙන් පනත උල්ලංඝනය කිරීම වැනි කාරණාවක් ක්‍රීඩා අමාත්‍යවරයා තාක්ෂණික ගැටලුවක් ලෙස අර්ථකථනය කිරීම මෙහිදී සාවද්‍ය අර්ථකථනයක් ලෙස ද ක්‍රීඩා ප්‍රවීනයෝ කියති.

ඒ ක්‍රිකට් ආයතනයට ජනවාරි මස පැවැති අතිවිශේෂ මහසභා රැස්වීමේදී නිලවරණ කමිටුව පත් කරගැනීමේ හැකියාව තිබියදී එය පත්කර ගැනීම කුමන හෝ කරුණක් මත සිදු නොකිරීම හේතුවෙනි.

පසුව ඔවුන්ට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ලිපියක් ලැබෙණුයේ නිලවරණ කමිටුව සඳහා ක්‍රිකට් විධායක කමිටුව කැඳවා නිලධාරීන් පත්කරගන්නා ලෙසයි. ඒ නිසා මෙය අමාත්‍යවරයා පවසන පරිදි තාක්ෂණික ගැටලුවක් නොවන බවත්, සිතාමතා හෝ වෙන යම් ආකාරයකින් සිදුකළ වැරද්දක් බවටත් පැහැදිලිය.

මේ පිළිබඳව අප ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සාමාජික සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද මහතාගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු පවසා සිටියේ නිලවරණ කමිටුව පත්කරගැනීම පනත ප්‍රකාරව සිදු නොකර ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා නියෝග නිකුත් කිරීම පනතට පටහැනි ක්‍රියාවක් බවයි.

"ක්‍රීඩා නීතිය අනුව යම්කිසි ගැටලුකාරී වාතාවරණයකදී අතුරු කමිටු පත්කිරීමේ බලය ක්‍රීඩා අමාත්‍යවරයාට ලැබිලා තියෙනවා. නමුත් අතුරු කමිටු පත්කරන බොහෝ අවස්ථාවල අමාත්‍යංශ ලේකම්, සහකාර ලේකම්වරයෙක් හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට ඇතුළත් කර තිබෙනවා. අතුරු කමිටුවක් දාන්නේ ඡන්දෙන් පත් වුණු අය නිසි පරිදි කටයුතු නොකරපු නිසයි. මෑත කාලීනව බොහෝ කමිටුවලට ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජනයක් ඇතුළත් වුණා. ඒ නිසා ක්‍රිකට් අන්තර් කාලීන කමිටුවට ක්‍රීඩා අමාත්‍යාංශයෙනුත් නියෝජනයක් ඇතුළත් වුණා නම් වඩාත් හොඳයි' යැයි ඒ මහතා එහිදී පවසා සිටියේය.

නිලවරණ කමිටුව පත්කර ගැනීමේ විශේෂ මහසභා රැස්වීම මැයි මස 13 වැනිදාට යොදා ඇති බවට පැවසුවද මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය පැවසුවේ තවම එවැනි නිල නිවේදනයක් මාධ්‍ය අංශයට ලැබී නොමැති බවයි.

මූලාශ්‍රය අද

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top