May 09, 2018

ලෝක කුසලානේ ප්‍රවේශපත් නිකුත් කරයි

ලබන වසරේ (2019) මැයි 30 වැනිදා සිට ජුලි 14 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ඊයේ (08දා) දිනයේ සිට අලෙවිය සඳහා විවෘත කළ අතර, ජුනි 01 දක්වා එම ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ක්‍රීඩාලෝලීන්ට අවකාශය සැලසී ඇත.

කෙසේ වෙතත් ලබන වසරේ ජුනි මස 16 වැනිදා පැවැත්වෙන ඉන්දියාව හා පාකිස්තාන තරගය නැරඹීම සඳහා බොහෝ දෙනකු දැඩි කැමැත්තක් දක්වන බැවින් මෙම තරගයේ ප්‍රවේශ පත්‍ර ඉක්මනින්ම අලෙවිවීමට ඉඩ ඇති බවටද අනුමාන කරයි.

ඉන්දියාව පාකිස්තානය සමඟින් තරග වදින හැම අවස්ථාවකම යම් සිදුවීම් සමුදායකට මඟ පාදන බැවින් මෙම තරගය "මුදල් ගලා එන උල්පතක්" ලෙසද බොහෝ දෙනකු පෙන්වා දී ඇත්තේ මෙම තරගය නැරඹීම සඳහා ඊයේ සිටම ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට වැඩි ක්‍රීඩා ලෝලීන් පිරිසක් ඉදිරිපත් වී ඇති නිසාය.

එහිදී පවුම් 20ක වටිනාකමකින් යුත් ප්‍රවේශ පත්‍ර ලක්‍ෂ දෙකක්ද, පවුම් 50ක වටිනාකමකින් යුත් ප්‍රවේශ පත්‍ර අසූ දහසක්ද මේ වනවිට අලෙවිය සඳහා නිකුත් කර ඇති නමුත් එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇති බවද පැවැසේ.

මේ අතර ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන මෙම තරගය සජීවී විකාශය කිරීමෙන් විශාල ලාභයක් (අනුග්‍රාහක දැන්වීම්වලින්) උපයා ගැනීමට හැකි බැවින් රූපවාහිනි ආයතනද මෙම තරගය පිළිබඳව උනන්දුවෙන් සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top