Sathosa

May 22, 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්දය නඩුවකින් කෙළවර වෙයි ? Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව පරිපාලනයක් පත් කර ගැනීම සඳහා මැයි 31 වැනිදා පැවැත්වීමට නියමිත නිලවරණය නඩුවකින් කෙළවර වනු ඇති බවට සැක පහලවී ඇතැයි එම කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙවර එහි සභාපතිධූරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා යළිත් වරක් සභාපති ධුරය සඳහා තරග වැදීම සඳහා ක්‍රීඩා සමාජ නම් කර තිබේ.

ඔහුට අමතරව, හිටපු සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස සහ මොහාන් ද සිල්වා මෙන්ම හිටපු ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරුන් මෙවර සභාපති ධුරයට තරග වැදීම සඳහා යෝජනා වී තිබේ.

මහින්ද ආවත් තිලංගට පරදිනාවා !

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී නම හෙළි කිරීමට මැලිවූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු හා පරිපාලකයකු කියා සිටියේ තිලංග සමඟ තරග කර ක්‍රිකට් සභාපතිපුටුව ජය ගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණිය ද නොහැකි වනු ඇති බවයි.

ඒ එහි ඡන්ද පදනම තිලංග මහතාට පක්ෂ වන අයුරින් නව සංගම් ඇති කර හා පැරණි ක්‍රීඩා සාමාජවල ලොක්කන් පිනවා හසුරුවාගැනීමට ඔහු සමත්ව සිටින බවයි.

ඒ අතරම පරදින බව දැන දැන ජයන්ත ධර්මදාස මහතා හා නිශාන්ත රණතුංග මහතා සභාපති ධූරයට නාමයෝජනා බාරදීම සම්බන්ධයෙන්ද ගැටලුවක් ඇති බව ඔහු කියා සිටියේය.

සංගා - ෆයිසර්ට කී රහස

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා හා විශයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අතර හමුවක් පසුගියදා ක්‍රීඩා අමාත්‍යංශයේදී සිදුවී තිබූ අතර එහිදී ද සංගක්කාර ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයාට යෝජනා කර තිබේ.

මේවන විට ඡන්ද 147 ක් ඇති අතර ඉන් පාලක ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් ක්‍රීඩා සමාජවලට ඡන්ද 2ක බැගින් හිමිව තිබේ.

තනතුරු ගොඩකට එකම නම

මේ අතර තනතුරු කිහිපයක් සම්බන්ධයෙන් එකම පුද්ගලයාගේ නම යෝජනා කිරීමද ගැටලු සහගතවී ඇතැයි කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නාමයෝජනා දුන් අය

උප සභාපති ධූරය සඳහා මොහාන් ද සිල්වා, ජෙරාඩ් හිරන්ත පෙරේරා, කන්ගදරන් මතිවානන් සහ ශම්මි ශිරාජ් සිල්වා යන මහත්වරුන්ගේ නම් ක්‍රීඩා සමාජ විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ශම්මි ශිරාජ් සිල්වා, බන්දුල තිලක් දිසානායක, ජෙරාඩ් හිරන්ත පෙරේරා, මොහාන් ඇන්තනී චූලානන්ද ද සිල්වා සහ නිශාන්ත රණතුංග ලේකම් ධූරය සඳහා තරග වැදීමට නියමිත අතර, උප ලේකම් ධූරය සඳහා යෝඅජ්නා වී තිබෙන්නේ බන්දුල තිලක් දිසානායක, සමන්ත බණ්ඩාර දොඩන්වල සහ රවීන් උදයප්‍රිය වික්‍රමරත්න යන අයයි.

මේ අතර භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික, ක්‍රිකට් විනිසුරුවරුන් සංගමය සහ ක්‍රිකට් තරඟ සංගමයට තේරී පත් වීම සඳහා තවත් යෝජනා රැසක් ඉදිරිපත් වී තිබේ.

විරෝධතා

මෙම තරගකරුවන්ට එරෙහිව විරෝධතා ඇත්නම් මාර්තු 22 වෙනි දින පස්වරු 3.00 ට පෙර ඡන්ද කමිටුව වෙත ලබා දිය යුතුය.

එම විරෝධතාවලට පිළිතුරු ලබා දීම පිණිස මැයි 25 වෙනි දින කාලය වෙන් කර ඇති අතර, මැයි 28 වෙනි දින විරෝධතා කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනු ලැබේ.

මැයි 31 වෙනිදා උදෑසන 9.00 සිට ඡන්දය ලබා දීම ආරම්භ කිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top