Sathosa

May 23, 2018

වැඩ බැරිවෙද්දි ශ්‍රී ලංකා ක්‍රිකට් පඩි වැඩිකළේ මෙහෙමයි !

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වැටුප් 2018-2019 වසරේදී සියයට තිස්හතරකින් (34%) ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ මූල්‍ය ප්‍රගතිය මත මෙම තීරණයට එළඹි බව කියා සිටී.

කෙසේවුවද, ක්‍රිකට් විචාරකයින් පෙන්වාදෙන්නේ ලොව ක්‍රිකට් පාලක මණ්ඩල වැටුප් වැඩි කිරීම් සිදුකරනු ලබන්නේ සිය ක්‍රීඩකයන්ගේ වර්ධනයක් ඇති විට බවයි.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දුවාර විස්සයි - 20 ක්‍රිට් පිල පසුවන්නේ 09 වැනි ස්ථානයේය. මීට වසර දෙකකට පෙර ලොව අංක එකේ පිල වූ එම පිල ශ්‍රේණිගත කිරීම්වල අංක 09 දක්වා පල්ලම් බැස්ස පළමු අවස්ථාව මෙය වේ.

එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා පිලට හිමිව ඇත්තේ ලෝකයේ 08 වැනි ස්ථානයයි.

එසේම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 06 වැනි ස්ථානයේ පසුවේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා,

"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී විශාල ලෙස ලාභ ලැබුවා. මෙයට ප්‍රධාන වශයෙන් හවුල්කරුවන් වූයේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයනුයි. ඔවුන්ගේ සේවාවට කෘතගුණ සැලකීමක් ලෙස වැටුප් වැඩි කිරීමට තීරණය කළා" යැයි සඳහන් කළේය.

කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළැඹ ඇති ක්‍රීඩකයන් තිස්තුන් දෙනාහට මේ වැටුප් වැඩි කිරීමට අමතරව ටෙස්ට්, එක්දින හා විස්සයි - විස්ස තරග දීමනාද වැඩි කෙරෙනු ඇත.කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් 'ඒ' 'බී' 'සී' 'ඩී' සහ ප්‍රිමියර් යනුවෙන් කොටස් පහකට බෙදා ඇති අතර ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, සුරංග ලක්මාල් හා දිමුත් කරුණාරත්න 'ඒ' කාණ්ඩයටත් උපුල් තරංග හා දිල්රුවන් පෙරේරා 'බී' කාණ්ඩයටත් අයත් වෙති.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා හා තිසර පෙරේරා 'සී' කාණ්ඩයට අයත්ය. 'ඩී' කොටසට අයත් වන්නේ අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක හා නුවන් ප්‍රදීප් ය.

මේ අතර ප්‍රිමියර් අංශයට අයත් වන ක්‍රීඩකයන් වනුයේ සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, ළහිරු තිරිමාන්න, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, ලක්‍ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩර්සේ, දසුන් ශානක, කෞෂාල් සිල්වා, ෂෙහාන් මධුශංඛ, ළහිරු කුමාර, මලින්ත පුෂ්පකුමාර, අමිල අපෝන්සු, වනිඳු හසරංග, ඉසුරු උදාන හා ඩිල්ෂාන් මුණවීර ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top