Sathosa

May 28, 2018

ක්‍රිකට් තරඟ පාවාදීමේ ගෝඩ් ෆාදර් ගැන ඉඟියක් ! Featured

මේ වසර අවසානයේ දී යෙදී ඇති එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ දී ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරඟය මුදලට පාවාදීමේ සැලැස්මක් පිළිබඳ අල්ජසීරා මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියෙකු විසින් හෙලිකිරීමෙන් පසුව මෙය දැනට නම් හෙළිකර ඇති තිදෙනාට අමතරව තවත් කිහිපදෙනෙකු සම්බන්ධ බවට සැක පලව තිබේ.

එහි මූලික සැකය එල්ලවී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තණතීරු සකසන්නා වන ගොඩ්ෆ්‍රි දබරේරා මහතා වෙතය.

වත්මන් ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති තිලංග සුමතිපාල මහතා ගේ හිතවතෙකු වන ඔහු සාමාන්‍යයෙන් ක්‍රීඩාංගනයක ජාත්‍යන්තර තරගයක් පැවැත්වීමට දෙසතියකට පෙර අදාළ ක්‍රීඩාංගකයේ තණතීරුවේ කටයුතු අධීක්ෂණය කළ යුතු වේ.

ඒ අනුව ඔහුගේ අනුදැනුම හෝ නියෝගයක් නොමැතිව ගාල්ලේ තණතීරුව වෙනස් කිරීමේ හැකියාවක් නොවේ.

දබරේරා මහතාට පහළින් සම්පත් නැමැති තවත් අයකු සිටින අතර ගාල්ලේ තනතීරු බාරකරු වන තරංග ඉන්දික සිටින්නේ ඔහුට ද පහළිනි.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් නම කියවෙන තරිඳු මෙන්ඩිස් කොළඹ සී.සී.සී. ක්‍රීඩා සමාජයේ සාමාජිකයකු බැවින් සී.සී.සී. ක්‍රීඩා සමාජයේ නිලධාරීන් ක්‍රිකට් පාලක මණ්ඩලය හා කිට්ටුවෙන් කටයුතු කිරීම තුළ මේ සිද්ධියට වෙනත් සම්බන්ධකම් තිබිය හැකි බවට මේවන විට සැක මතුව ඇත.

ගොඩ්ෆ්‍රිගේ වාහනේ

මේ අතර, ක්‍රිකට් විචාරකයින් කියා සිටින්නේ මේ සිද්ධියට සැක කරනු ලබන පුද්ගලයින්ගේ ගිණුම් පරික්ෂා කිරීම හරහා ඔවුන් මීට පෙර ද මේ සඳහා සම්බන්ධවී ඇති ද යන්න හෙළිකරගත හැකිවනු ඇති බවයි.

එසේම, දබරේරා මහතා මෑතකදී සිට අති සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කිරීම සම්බන්ධයෙන්ද ක්‍රිකට් විචාරකයන් සැක පලකර තිබේ.

මීට පෙර ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත්ව තිබූ කටුනායක වෙළඳ කලාපය සතු ක්‍රීඩාංගනයේදී බාරකරු ලෙස වර්තමානයේ කටයුතු කරන්නේද දබරේරා මහතාය.

තරංග කවුද ?

මේවන විට පිටව ඇති වීඩියෝවේ සිටින ගාල්ල ක්‍රීඩාංගනයේ තණතීරු බාරකරු වන තරංග ඉන්දික, හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු මෙන්ම එම ක්‍රීඩාංගනයේ කළමනාකරු වූ ජයනන්ද වර්ණවීර මහතා ගේ ද ඉතා කිට්ටුම හිතවතෙකි.

වර්ණවීර මහතාට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ නොවීම නිසා   2016 ජනවාරි මාසයේ සිට වසර 3 ක ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

ව්‍යාපාරිකයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි අල්ජසීරා මාධ්‍යවේදියා ගාල්ල ප්‍රදේශයේ හෝටලයකදී ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරු සකසන්නා සහ හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙකු සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර මීට පෙර තරග කිහිපයකදී ද බුකීකරුවන්ට අවශ්‍ය පරිදි තණතීරුව සකස් කළ බවට ද ඔවුන් දෙදෙනා එහිදී අනාවරණය කර තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top