Sathosa

May 31, 2018

ක්‍රිකට් තරග පාවාදීම් : 'නීති නැහැ - බුකිකරුවෝ බේරෙනවා''  Featured

මුදලට ක්‍රිකට් තරග පාවාදීම සහ ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකාව තුළ යළි සංවාදයක් මතුව තිබේ.

ඒ අල් ජසීරා රූපවාහිනී සේවය විසින් ඉරිදා (මැයි 27) විකාශනය කරන ලද 'Cricket's Match Fixers' (Al Jazeera Investigations) වාර්තා වැඩසටහන මගින් ඉදිරියේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියක් සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ විකට්ටුව වාසි සහගත අයුරින් වෙනස් කිරීම ඇතුළු මුදලට තරග පාවාදීම පිළිබඳ චෝදනා එල්ල වීමත් සමගය.

කෙසේ නමුත් තරග පාවාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට සෘජු හෝ වක්‍රාකාරයෙන් චෝදනාවක් එල්ල වූ පළමු අවස්ථාව ද මෙය නොවේ.

ඉහත කී වාර්තා වැඩසටහන මගින් පැවසෙන චෝදනා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පවසයි.

ඒ සඳහා සිය "පූර්ණ සහාය" දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේය.

ශ්‍රී ලංකාව තුළ නීතියක් නොමැති බව :

එහෙත් ඉහත කී පරීක්ෂණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට අදාළ යම් කිසිවකු වරදකරු බව තහවුරු වුවත් ඔවුන්ට එරෙහිව දඬුවම් දීම සඳහා ශ්‍රී ලංකාව තුළ නීතියක් නොමැති බව නීතිවේදීහු පෙන්වා දෙති.

තරග පාවා දී ඇති බවට වරදකරු වන ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩාංගනය භාරව කටයුතු කරන පුද්ගලයෙකුට එරෙහිව ආයතනික මට්ටමින් තරග තහනම් පැනවීමට/ ගිවිසුම අත්හිටුවීමට හැකියාව ඇතත් "බුකීකරුවන්ට" එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකාව තුළ නීතිමය පසුබිමක් නොමැති බව නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද පවසයි.

"කොහොම පරීක්ෂණ පැවැත්වුවත් බුකීකාරයෝ බේරෙනවා. මොකද ඒ අයට එරෙහිව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ. ශ්‍රී ලංකා නීතිය යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට, ප්‍රශ්න කිරීමට හෝ අඩුම තරමේ පාස්පෝට් තහනම් කිරීම හෝ නඩු පැවරීමට බලයක් නැහැ," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"ඒක දැනගෙන තමයි මේ සූදුකරුවෝ ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. ඕස්ට්‍රේලියාවේ කළා නම් හිරේ යනවා,"

මුදලට තරග පාවාදීම වැළක්වීමේ පනතක් සම්පාදනය කිරීම සඳහා පැවති පාලන සමයේ පත් කරන ලද කමිටුවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන ලද්දේ නීතිඥ පණ්ඩුක කීර්තිනන්දය.

ක්‍රීඩා විශාරදයන්, නීතිඥවරුන්, ජාත්‍යන්තර පොලිසියේ සාමාජිකයෙකු, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙකු ද එම කමිටුවට ඇතුළත් වූහ .


කෙටුම්පත අමාත්‍යංශයෙනුත් අතුරුදහන්:


Cricket Bad 1 
ක්‍රිකට් තරග පාවාදීම "අල්ලස් පනතට ඇතුළත් කරනවා"

තරග පාවාදීම් සම්බන්ධයෙන් සිය කමිටුව විසින් සකසන ලද එකී යෝජනා මාලාව ක්‍රීඩා අමාත්‍යංශයට භාර දීමට කටයුතු කළත් 2015 ආණ්ඩු පෙරළියත් සමග එය "ක්‍රියාත්මක නොවී යටගසා ඇති බවට" ඔහු චෝදනා කරයි.

එම චෝදනාව සම්බන්ධයෙන් විමසීම සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සම්බන්ධ කර ගැනීමට කීපවරක් උත්සාහ කළ ද එය සාර්ථක නොවීය.

"2015 සිට 2018 දක්වා අවුරුදු තුනක් ගිහින් කිසි දෙයක් වෙලා නැහැ. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මාස තුනක් ඇතුළත නීතිගත කරන්න තිබ්බා. අපේ වගකීම ඉෂ්ඨ කළත් යම් කිසි අදෘශ්‍යමාන හස්තයක් හෝ පාලන අධිකාරියේ දුර්වලතාවක්, නොහැකියාව හෝ කුමන හෝ හේතුවක් මත මේක යටගහලා තියෙන්නේ," නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද චෝදනා කරයි.

"දැන් මේ කෙටුම්පත අමාත්‍යංශයෙනුත් අතුරුදහන් වූ තත්ත්වයක් තිබෙන්නේ, නමුත් මා සතුව එහි පිටපතක් තිබෙනවා. නිල වශයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් මට එය ලබා දිය හැකියි,"

ක්‍රීඩා අමාත්‍යංශය වෙත භාර දී ඇති 'මග නැවතුනු' මුදලට තරග පාවාදීම වැළක්වීමේ පනත් යෝජනා නීතිගත කිරීමේ ඉදිරි පියවර:

"මේක ක්‍රිකට් පමණක් නොවෙයි ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩාවලට බලපාන අයුරින් සකස් කර තිබෙන්නේ,"

පරස්පරයක්:

මේ අතර තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් අයිසීසී ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණයට අමතරව ඒ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එහි සභාපති තිලංග සුමතිපාල සඳුදා (මැයි 28) බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

Cricket Bad 2ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල

කෙසේනමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර බීබීසී සිංහල සේවය වෙත තහවුරු කළේය.

"එහෙම පැමිණිල්ලක් ලැබිලා නැහැ. තරග පාවාදීම කියලා සෘජු නීතියක් නැහැ ලංකාවේ. නමුත් පැමිණිල්ලක් ලැබුණු විට මූලික විමර්ශනයක් කරලා තීරණය කරනවා ඒ සඳහා නෛතික ප්‍රතිපාදන තිබෙනවද නැද්ද කියලා," යනුවෙන් ඔහු කියා සිටියේය.

අල්ලස් පනතේ සංශෝධනයක්?

මුදලට තරග පාවාදීම දූෂණයක් වන බැවින් එවැනි චෝදනා ලද පුද්ගලයන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අල්ලස් පනත යටතේ ක්‍රියාමාර්ග ගත නොහැකිද?

තරග පාවාදීම අල්ලස් පනතත යටතට ඇතුළත් කිරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න පවසයි.

රාජ්‍ය ආයතන, සංස්ථා, අධිකාරීන් වැනි ආයතන සහ 51% වැඩි කොටස් රජය සතු වන සමාගම්වල සේවකයන් අල්ලස් පනතේ විෂය පථයට අයත් වේ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ එහි සේවකයන් රාජ්‍ය සේවයට අයත් නොවන බැවින් එය එකී විෂය පථයට අයත් නොවේ.

Cricket Bad 3''මුදලට තරග පාවාදීම අල්ලස් පනතට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා''
    අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න

"අපේ රටේ තවමත් පෞද්ගලික අංශය අල්ලසක් ගත්තොත් එය වරදක් හැටියට හඳුනාගෙන නැහැ, පුද්ගලික අංශයත් අල්ලසක් ගත්තොත් එය වරදක් ලෙස සැලකිය හැකි වන පරිදී අල්ලස් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා," ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"ඒ යටතට එන එක වරදක් තමයි තරග පාවා දීම. ඒ සම්බන්ධයෙන් ලෝකයේ සමහර රටවල නීති තිබෙනවා," යනුවෙන් කී ඔහු එවැනි නීති සහ ඒ හා සම්බන්ධ අත්දැකීම් මොනවාදැයි යන්න පිළිබඳ ලබන සතියේ වියානා නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියේ දී සාකච්ඡාවට බඳුන්වීමට නියමිත බව සඳහන් කළේය.

"ඒකට අපිත් සහභාගී වෙනවා. අපේ රටේ නීතිය වෙනස් විය යුත්තේ කොයි ආකාරයෙන්ද කියලා අනෙක් රටවල අත්දැකීමුත් එක්ක අපට සාකච්ඡා කරන්න පුළුවන් ,"

ශ්‍රී ලංකාවේ නීතියට අනුව අල්ලස් ගත් අයෙකුට වසර හතක උපරිම දඬුවමක් ලබා දිය හැකි අතර දූෂණ අපචාර සඳහා වරදකරු වන අයෙකු වසර දහයක් දක්වා වන සිර දඬුවමකට යටත් කළ හැක.

Cricket Bad 4යළි සැකසෙන ගාල්ල ක්‍රීඩාංගනයේ විකට්ටුව

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මීට ඉහතදී ක්‍රීඩා බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී බොහෝ අවස්ථාවල කණ්ඩායම ඉල්ලා සිටින විකට්ටුව වෙනුවට වෙනස් විකට්ටුවක් ලබාදීම පිළිබඳ විවේචනාත්මකව අදහස් පළ කළේය.

ඔහු මතු කළ චෝදනා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව ඒ අවස්ථාවේ ක්‍රීඩා බලධාරීහු සඳහන් කළහ.

අල් ජසීරා වාර්තා වැඩසටහන විකාශනය වීමත් සමග ලසිත් මාලිංග කළ ඉහත කී ප්‍රකාශය උපුටා දක්වමින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තුළ අදහස් පළ කර තිබෙන ආකාරය මේ දිනවල දැකගත හැක.

අල් ජසීරා වාර්තා වැඩසටනහනෙහි සඳහන්වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අයත් සියලු සාමාජික රටවල සහයෝගය ඇතිව, එල්ල වන එක් එක් චෝදනා පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන ඒකකය පසුගිය 27 වෙනිදා නිවේදනය කළේය.

පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බැවින්, ඒ පිළිබඳ වැඩි විස්තර ලබා දිය නොහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් වැඩිදුරටත් සඳහන් කළේය.

තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ඉක්මන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ සලසනු වස්, සියලුම සංස්කරණය නොකරන ලද දර්ශන සහ වැඩසටහනට ඇතුළත් නොකළ සාක්ෂි සිය ආයතනයට යොමුකරන මෙන් ඔහු අල්-ජසීරා රූපවාහිනී සේවයයෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

මේ අතර චෝදනාවට ලක්ව ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ තණතිල්ල සහ විකට්ටුව නැවත සම්පුර්ණයෙන්ම සකස් කරන අයුරු බදාදා (මැයි 30) දක්නට ලැබිණි.

ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂ අවසරයක් නොමැතිව ක්‍රිඩාංගනයට ඇතුළුවීමට අවසර නොදෙන බව ඒ පිළිබඳ විමසීමට එහි ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් පවසා තිබිණි.

(බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top