Jun 21, 2018

කුණු අස්කරන්න නගරසභාවට නොතියන ජපන්නු (වීඩියෝ)

කසළ යනු, ශ්‍රී ලංකාවේ දැවෙන ගැටළුවකි. මේ හේතුවෙන් මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීම වැනි ඛේදවාචක පවා සිදුවුවත්, බස්රියේ, දුම්රියේ දී කන වඩය පවා කා අවසන් කළ සැනින් බෑගය කවුලුවෙන් පිටතට විසිකිරීමට අප රටේ බොහෝ දෙනෙකු තවමත් මැළි නොවේ. එසේ කරනුයේ තමා ගේ කුණු ඇදීමට සිදුවන්නේ වෙනත් කෙනෙකුට යැයි නොසිතාය. සොච්චම් මුදලක් වෙනුවෙන් එම කසළ ඉවත්කිරීමට සිදුවන මගතොට පවිත්‍ර කරන සේවකයන් ද මිනිසුන් යැයි නොසිතාය.

මෙලෙස නූගත් ලෙස හැසිරෙන මෙවැනි සමාජයකට ජපානය පසුගියදා කදිම ආදර්ශයක් ලබා දී තිබුණි. ඒ, පෙරේදා (19) රුසියාවේ දී ජපානය හා කොලොම්බියාව අතර පැවති ලෝක කුසලාන පාපන්දු තරගයේදීය.

ජපන් කණ්ඩායම මෙම තරගය 2-1ක් වශයෙන් ජයගත්තේ, ඔවුන්ට සහය දීමට ක්‍රීඩාංගනයට පැමිණි ජපන් ජාතිකයන් ගේ ඔල්වරසන් මධ්‍යයෙනි. මෙවැනි අතිශය වැදගත් තරගයකින් අනතුරුව වුවද, ජපන් ජාතිකයන් හට සිය වගකීම් පිළිබඳව අමතක වූයේ නැත.

තරගයෙන් අනතුරුව විශාල කුණු බෑග් අතැතිව නැගී සිටි ඔවුන් තමා තරගය නැරඹූ ස්ථානය සුද්ධ පවිත්‍ර කිරීමට කටයුතු කළ ආකාරය මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අතිප්‍රශංසාවට ලක්ව තිබේ.

ජපන් සංස්කෘතියට අනුව සුද්ධ පවිත්‍ර කිරීම යනු ළමා කාලයේ සිටම සියළු ජපන් ජාතිකයන් හට නිතැතින්ම පුරුදු පුහුණු කරවන්නකි. විශේෂයෙන්ම පාසැල් වලදී මෙම පුරුද්ද අකුරටම ඉගැන්වෙන අතර, වයසින් මෝරන විට ඔවුන්ගේ ජීවන රටාවේ කොටසක් බවටම පත්වේ.



මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top