Jul 05, 2018

ජගත් කණිෂ්ට ගොල්ෆ් ශූරතාවලිය යළිත් කොළඹදී

පිටපිට දෙවැනි වරටත් ජාත්‍යන්තර කණිෂ්ට ගොල්ෆ් ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය හා HSBC බැංකුව සැරසෙයි.

අගෝස්තු 01-02 දින වලදී කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට ඉන්දියාව, පකිස්තානය, මැලේසියාව හා තායිලන්තයෙන් ද තරගකරුවන් එක්වීමට නියමිතය. අගෝස්තු 01 දා කේවල තරග ද ඉන් පසුදින කණ්ඩායම් තරග ද පැවැත්වෙනු ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් ඊයේ (04) දින කොළඹදී පැවැත්වුණු අතර, එයට ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති - එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම, එහි කාරක සභා සාමාජික - නිලූ ජයතිලක, HSBC බැංකු සමාගමේ මෙරට ප්‍රධාන විධායක නිලධාරී - මාක් ප්‍රොතේරෝ, කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ සාමාන්‍යාධිකාරී - නලින් ජයතිලක හා තරගාවලියේ අනෙකුත් අනුග්‍රාහක භවතුන් ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්විය.

‘ෆියුචර් ලයන්ස්’
මේ අතර, පාසැල් දරුදැරියන් අතරට ගොල්ෆ් ක්‍රීඩාව ගෙනයාමේ අරමුණෙන් ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය හා HSBC බැංකුව විසින් ආරම්භ කර ඇති ‘ෆියුචර් ලයන්ස්’ බිම්මට්ටම් වැඩසටහනද ඉදිරියේදී ප්‍රවර්ධනය කෙරෙනු ඇත.

වයස අවු. 08-13 අතර දරුදැරියන්ට විවෘතව පවතින මෙම වැඩසටන මේ වසරේදී හම්බන්තොට, දියතලාව හා ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top