Sathosa

Jul 20, 2018

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉරණම ! Featured

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඇති 'අනවසර ඉදිකිරීම්' ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ගාලු කොටුව සහ ක්‍රීඩාංගනයේ ඇති 'අනවසර ඉදිකිරීම්' ඉවත් නොකරන්නේ නම් එය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් පවතින බව යුනෙස්කෝ ආයතනය දන්වා තිබේ.

ගාලු කොටුව තුළ සහ ඒ අවට ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ විසින් නියෝග කරනු ලැබුවේ එවැනි පසුබිමකදීය.

අගමැතිවරයා එසේ නියෝග කළේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇති ගාලු කොටුව සහ ඒ අවට ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජුනි 24 වෙනිදා ගාල්ලේ පැවති සාකච්ඡාවකදීය.

ගාල්ල අධ්‍යාපන කලාපයේ ළමුන්ට සහ එහි ජනතාවට ගාල්ල ක්‍රීඩාංගනය ලැබිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන එහිදී පැවසීය.

නමුත්, ගාල්ල දිස්ත්‍රික්කයට ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් අවශ්‍ය බවත්, අධිවේගී මාර්ගයෙන් පිටත පින්නදූව ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ඉදි කිරීමට බලාපොරොත්තුවන බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, 'මහජන ක්‍රීඩාංගනයක්' බවට පත් කරන බව අමත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

Gallcort

යුනෙස්කෝ ආයතනයේ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් පියවර ගැනීමේ ආරම්භයක් වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහභාගීත්වයෙන් බදාදා (ජුලි 18) සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් එහිදී සිය ආයතනය පොරොන්දුවක් ලබා නොදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු පැවසීය.

"අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අප තවමත් නිල නිවේදනයක් නිකුත් කර නැහැ. ඉදිරියේදී එංගලන්ත සංචාරය ආරම්භ වීමට නියමිත බැවින් ඒ පිළිබඳ අප පොරොන්දුවක් ලබා දී නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතිනවා," යනුවෙන් ඔහු බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.

 බදු ඔප්පුවකින් පවරාදීම :

 ගාල්ල මහ නගර සභාව විසින් ගාල්ල ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බදු ඔප්පුවකින් පවරා දෙනු ලැබුවේ 1998 වසරේදීය.

ගාල්ල මහ නගර සභාව බදු දීමනාකාර පාර්ශ්වය ලෙස ද බදු ගැණුම්කාර පාර්ශ්වය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද අදාළ ගිවිසුමට අත්සත් තබා ඇත්තේ වසර 30 ක කාලයක් සඳහාය.

බදු ගිවිසුමට අනුව වසර 30 ක කාලය ඉකුත් වන්නේ 2028 අප්‍රේල් 02 වෙනි දිනටය.

ගිවිසුම ප්‍රධාන කොන්දේසි 27 කින් සමන්විතය. එම කොන්දේසි අතර:

-ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවත්විමට අමතරව ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ තරග පැවත්විම සඳහා ද ලබා දිය යුතුය

-ගාල්ල මහ නගර සීමාව තුළ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ හෝ රජයේ අනුග්‍රහය ලබන පාසල්වල මලල ක්‍රීඩා උත්සව සඳහා ලබා දිය යුතුය

 ගාලු ජනතාවට අසාධාරණයක් !

 ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් ස්ථානයක ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ඉදි කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන 2016 වසරේදී ද පැවසීය.

ඇමතිවරයා එහිදී කියා සිටියේ ප්‍රදේශයේ පාසල් දරුවන්, තරුණයන් ඇතුළු පොදු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය යොදා ගත නොහැකි තත්වයක් යටතේ ගාලු ජනතාවට අසාධාරණයක් වී ඇති බවය.

ගාල්ල දිස්ත්‍රික්කය අයත් දකුණු පළාත සතුව ජාත්‍යන්තර ක්‍රීඩාංගන දෙකක් පවතී. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය සහ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ඒ අතර වේ.

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ මේවන විට ක්‍රිකට් තරග නොපැවැත්වෙන අතර අධික පිරිවැයක් දරා එවැනි ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සම්බන්ධයෙන් එවක දැඩි විවේචන එල්ල විය.

 ගාලු කොටුවේ ඉතිහාසය:

Gall

1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් පෘතුගීසි ජාතිකයන් විසින් ප්‍රථම වරට ඉදිකරන ලද පෞරාණික ගාල්ල කොටුව 17 වෙනි සියවසයේ පැමිණි ලන්දේසි ජාතිකයන් විසින් තවත් පුළුල් කරනු ලැබීය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සුළු ආකෘතික වෙනස්කම් කර නවීකරණය කරන ලද ගාලු කොටුව දැනට ශ්‍රි ලංකාවේ ජිවමානව පවතින පැරණිම ලෝක උරුම නගරයකි.

1974 වසරේදී පුරා විද්‍යා ආරක්‍ෂිත ස්‌මාරකයක්‌ ලෙස ප්‍රකාශයට පත්කෙරුණු ගාලු කොටුවේ ඓතිහාසික වැදගත්කම හේතුවෙන් 1988 වසරේදී එක්සත් ජාතින්ට අනුබද්ධ යුනෙස්‌කෝ සංවිධානය විසින් එය ලෝක උරුම ස්මාරකයක්‌ ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව ගාල්ල කොටුව ලෝක උරුම නගරය තුළ පිහිටි සියලුම නිවාස, ගොඩනැගිලි ඇතුළු සමස්ත ප්‍රදේශය පුරාවිද්‍යා ස්මාරක වේ. එම ගොඩනැගිලි නවීකරණය කිරිම හෝ නව ඉදිකිරිම් සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ගාල්ල මහ නගර සභාව යන රාජ්‍ය ආයතනවලින් පූර්ව අවසරයක් ලබාගත යුතුය.

(බීබීසී සිංහල සේවය)

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top