Sathosa

අකලංක පීරිස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග අකලංක පීරිස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග
Aug 14, 2018

ශ්‍රී ලංකාවේ AL විභාගය ඉන්දුනීසියාවේදී ලියන ක්‍රීඩකයෙක් Featured

ජාතික පිහිනුම් ශූරයකු වන ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් ශිෂ්‍යයාට මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සිට අ.පො.ස. උසස් පෙළ විභාගයේ විෂයන් තුනකට පෙනී සිටීමට අධ්‍යාපන බලධාරීන් අවස්ථාව ලබාදී තිබේ.

මෙරට ක්‍රීඩකයකුට විදේශයකදී ජාතික විභාගයකට පෙනී සිටීමට ලද ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ මස 18 වෙනිදා සිට 23 වෙනිදා දක්වා ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව් නියෝජනය කිරීම සඳහා අකලංක පීරිස් හෙට (15) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ඒ අනුව ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අ.පො.ස. උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි, සාමාන්‍ය පොදු පරීක්ෂණය හා ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙනු ඇත.

මෙම විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙකු ඉන්දුනීසියාවට යාමට නියමිත අතර ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ද සහය ඇතිව ඔවුන් ඉන්දුනීසියාවේදී විභාගය පවත්වනු ඇත.

විභාගයේ රහසිගතභාවය හා විනිවිදභාවය !

විභාගයේ රහසිගතභාවය හා විනිවිදභාවය ආරක්ෂා වන පරිදි මෙරට වේලාවෙන්ම විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව මේ සම්බන්ධව අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේය.

"මේ සඳහා මම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු සහභාගිකරනවා, රහස්‍ය ලේඛන රැගෙන යාම, පිළිතුරැ පත් රැගෙන ඒම ඔවුන් විසින් සිදුකරනවා, විභාගය පවත්වන ශ්‍රී ලංකාවේ වෙලාවටම ඒක එහෙදි පවත්වනවා" විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේය.

කොළඹ ශාන්ත පීතර විදුහලේ ශිෂ්‍යයකු වන අකලංක පීරිස් සාමාන්‍ය පෙළ විභාගයේ දී A සාමාර්ථ 9 ක් සමගින් සමත් වී වාණිජ විෂය ධාරාවෙන් මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටී.

"ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන දේ තමයි 10 වසරේදී ක්‍රීඩාව අතහරිනවා O/L, A/L කරන්න ඕනේ නිසා, මගේ යාළුවොත් එහෙමයි. මම හිතනවා මේ වගේ මට අවස්ථාවක් දුන්නම මගෙන් පස්සේ මේ වගේ ක්‍රීඩාකරන අයට මේක තෝතැන්නක් වෙයි කියලා" තමන්ට අධ්‍යාපනය සහ ක්‍රීඩාව යන දෙකම ඉදිරියට කරගෙන යාමට අවස්ථාව ලැබීම ගැන අකලංක පීරිස් මාධ්‍යට දැක්වුයේ එවන් අදහසකි.

akalankaඅකලංක පීරිස්මීටර් 50 පසුපස ආර, මීටර් 100 පසුපස ආර සහ මීටර් 50 සමනල ආර පිහිනුම් ඉසව් සඳහා ශ්‍රී ලංකා වාර්තාවන්ට හිමිකම් කියන්නේ ද අකලංක පීරිස් ක්‍රීඩිකයා ය.

මේ වසර මුලදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට ද අකලංක පීරිස් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. ශ්‍රී ලංකා සහය පිහිනුම් කණ්ඩායමේ ද ඔහු සාමාජිකයෙකි.

විභාගය විදේශයක පැවැත්වීමට අවසර ලබාදීම දක්ෂ ක්‍රීඩකයින් මෙන්ම අධ්‍යාපනයේ දක්ෂයින් ද ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගත් ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස අධ්‍යාපන අමාත්‍යා අකිල විරාජ කාරියවසම් විසින් හඳුන්වා දෙන ලදී.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා 28ක් සඳහා ශ්‍රී ලංකාව ක්‍රීඩික ක්‍රීඩිකාවන් 185 දෙනෙකු සහභාගි කරවයි. තරගාවලිය අගෝස්තු 18 වෙනිදා ආරම්භවී සැප්තැම්බර් 2 වෙනිදා අවසන් වීමට නියමිතය.

(බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top