මෙම තරඟාවලියේ තරඟ ඩුබායි හා අබුඩාබි ක්‍රීඩාංගනවල පැවැත්වෙන අතර තරඟාවලියට සහභාගිවන සියළුම කණ්ඩායම් නැවතී සිටිනුයේ ඩුබායි හෝටල වලය.
ඩුබායි හා අබුඩාබි අතර දුර කි.මී. 140 කි. ගමන් කාලය පැය එකහමාරකි. අබුඩාබි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟ සඳහා සෙසු කණ්ඩායම් ඩුබායි සිට දිනපතා පැමිණියත් ගමන් මහන්සිය නිසා තමනට එසේ කළ නොහැකි බව කියමින් ඉන්දීය පිල දෙවැනි අදියරේ ඔවුන්ට පැවැති අබුඩාබි තරඟ සියල්ල ඩුබායිහිම පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සම්මේලනයේ නිලධාරීන්ට බල කර තිබේ. මේ හේතුවෙන් ඇෆ්ගන් පිලට පිට පිටම දින දෙකක් අබුඩාබියේ තරඟ වැදීමට සිදුව ඇත.
මෙය සෙසු කණ්ඩායම්වලට අසාධාරණයක් වුව ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලපුළුවන්කාරකම මත ආසියානු ක්‍රිකට් සම්මේලනයද කර කියාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත.
මීට පෙර එංගලන්තයේ පැවති අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියටද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙපරිදිම බලපුළුවන්කාරකම පෙන්වා තමන්ට අවශ්‍ය දේ සිදු නොවුණහොත් තරඟාවලියට සහභාගි නොවන බව දන්වා සිටියේය.