Sathosa

Sep 25, 2018

මේ ආණ්ඩුව ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා - අර්ජුන (වීඩියෝ) Featured

මේ ආණ්ඩුව ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (24) කටුනායක වලාන සිරි සුමනාරාම පුරාණ මහා විහාරස්ථානයේ පිංකමකට සහභාගි ඉන් නික්මයන අවස්ථාවේ මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

"වගකිවයුත්තා බුකිසිරි"

ඔහු වැඩිදුරටත් “ඒකට දයාසිරි කියන පුද්ගලයා වගකියන්න ඕනේ. ඔහු තමයි බුකීකරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට ගෙනාවේ. අද දයාසිරි කියන්නේ බුකිපාලගේ කතා. ඒ නිසා දයාසිරිට ඉස්සරහට මිනිස්සු කියන්න පටන් ගනී බුකිසිරි කියලා. ඒක නවත්වන්න ලැබෙන්නේ නැහැ......”යි යනුවෙන් ද ඔහු කියා සිටියේය.

"පසුගිය ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ලොකු අඩුපාඩු තිබුණත් ඔහු නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කර බුකීකාරයින්ට සහ සූදුකාරයින්ට ක්‍රිකට් පරිපාලනයට ඒමට නොදුන් බව පැවසූ රණතුංග මහතා, දයාසිරි නීතිඥවරයෙක් කිව්වට නීතිය කියවා ගන්න දන්නේ නැතිව ක්‍රිකට් පරිපාලනයට බුකිකාරයින්ට එන්න දුන්නා. අද බුකිකාරයින් මේ සමස්ත ක්‍රීඩාවම විනාශ කර තිබෙනවා” යැයි ද රණතුංග මහතා පැවසීය.

 අපි ඊළඟට පරදින්නේ කාටද ?

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

“මම මීට කලින් කිව්වා අපි බංගලාදේශයට පරදිනවා කියලා. ඒක සිද්ධ වුණා. මම මාස 6 - 8කට ඉස්සෙල්ලා කිවුවා ඇෆ්ගනිස්ථානයට පරදිනවා කියලා. ඒකත් සිද්ධ වුණා. මම තව ටික කාලයකින් කියන්නම් මෙහෙම ගියොත් කාටද පරදින්නේ කියලා. ඒ තරමට අපේ ක්‍රිකට් විනාශ වෙලා. නමුත් තාම අපේ ක්‍රිකට් බිම ඇනිලා නැහැ. මේ ක්‍රීඩකයෝ හදන්න පුළුවන්. අපි තාමත් කියන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලා ඉන්පසුව නිලවරණයක් තියන්න. එතකන් අතුරු කමිටුවක් පත් කරන්න. අතුරු කමිටුවක් පත් කරන්න බැරිනම් සිදත් වෙත්තමුනිලා , මහේලලා, සංගක්කාරලා‍, මුරලිලා වැනි ක්‍රීඩකයෝ ටිකක් හරි දාලා මේක දුවන්න. ඉන්න ඇමතිතුමාටත් ඒ ගැන වගකීම ගන්න වෙනවා. මම නම් හිතන්නේ අපේ යහපාලන ආණ්ඩුවේ අයහපත්ම දේ වුණේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට. ලෝක කුසලාන තරගාවලිය අපිට ලේසි වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඒ වගේම මේ පරාජයන්ට නායකයාට විතරක් දොස් කියලා බැහැ. තේරුම් කමිටුවත් එහි වගකීම ගන්න ඕනේ. ක්‍රිකට් පරිපාලනයත් වගකියන්න ඕනේ. බලන්න ආසියානු තරගාවලියට යන්න ඉස්සල්ලා 20 යි 20 තරගාවලියක් පැවැත්වුණා. නමුත් අපි ගියේ පන්දුවාර පනහේ තරගාවලියකට. කෝ අපිට දැක්කමක්. අපේ ක්‍රිකට් පාලකයින් කළේ සංගම්වලට මුදල් ටික බෙදලා දෙන එක. එහෙම නැතුව අපිට දැක්කමක් තිබුණේ නැහැ. මේ තත්ත්වය ගැන අපේ ජනාධිපතිතුමා බලන්න ඕන. අගමැතිතුමාත් බලන්න ඕන. නැතිනම් ඊලඟ මැතිවරණය එනකොට අපි හැමෝටම ජනතාව පාඩමක් උගන්වාවි....”

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top