Oct 04, 2018

ICC ය නුවන් සොයිසාගෙන් හදිසියේම ප්‍රශ්න කරයි

තරග පවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක නුවන් සොයිසාගෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙන බව වාර්තා වේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් පුහුණු සැසියකට සහභාගී වී සිටියදී ඔහුව මෙලෙස හදිසියේම ප්‍රශ්ණ කර ඇති බවත්, සොයිසා මහතා ගේ ජංගම දුරකතන ද ඔවුන් භාරයට ගෙන ඇති බවත් වැඩිදුර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ඉකුත් වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දුවාර විස්සයි තරගාවලියක් සම්බන්ධයෙන් මෙලෙස වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය විසින් ඊයේ දිනයේදී (03) මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ පවතින බවට පැවසෙන බරපතල දූෂණ චෝදනා සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පරීක්ෂණ පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

එංගලන්ත සංචාරයට පෙරාතුව පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී - ඈෂ්ලි ද සිල්වා මහතා පවසා තිබුණේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ වැඩකටයුතු පිළිබඳව ක්‍රිකට් ආයතනයද මීට කලින් නොදැන සිටි බවයි.

“ඒ සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නෑ… අපි හැමෝම දන්නවා දූෂණ විමර්ශන කටයුතු සිදුකරන විට ඒ ගැන කිසිවෙකුත් දැනුවත් නොකරන බව. එය ඉතා රහසිගතව සිදු කරන දෙයක් නිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙහෙ ඉන්නවා කියලා අපි දැනගත්තෙත් අද උදේ පළ කරලා තිබුණ ICC පුවත්පත් නිවේදනයෙන්,” යැයි ඔහු සඳහන් කර සිටියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top