2011 වසරේ පටන් එම සමාජය මේ ආකාරයට මෙරට ගොල්ෆ් ක්‍රීඩාවේ දක්ෂතා පෙන්නුම් කරන දරුදැරියන් හඳුනාගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, දැනට එම සමාජය හා සම්බන්ධ වී සිටින කනිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරට නවක දක්ෂයන් ඇතුළත් කරගැනීම මෙම නව වැඩසටහනේ අරමුණ වේ.
වයස අවුරුදු 9 ත් 13 ත් අතර පසුවන, දැනට රෝයල් කලම්බු ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය ලබා නොමැති දරුදැරියන් වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර ඇත. ආරම්භයේ පටන්ම මෙම වැඩසටහන් මාලාවේ අරමුණ වූයේ රට වෙනුවෙන් අනාගත ගොල්ෆ් ශූරයන් නිර්මාණය කිරීම සඳහා දීර්ඝකාලීන පදනමක් හඳුන්වා දීම ය. එමෙන්ම සිසු සිසුවියන් 20 දෙනෙකුට මෙම වැඩසටහන ඔස්සේ නොමිලයේ පුහුණුව, ක්‍රීඩා උපකරණ, පහසුකම් සහ ගොල්ෆ් ක්‍රීඩා පිටි වල ක්‍රීඩාවේ යෙදීමේ අවස්ථාව ලබාදීම සිදුවේ.
වසර 10 ක කාලයක් තිස්සේ පුහුණුව ලබාදීම තුළින් ජාතික තලයේ ක්‍රීඩා ශූරයන් නිර්මාණය කිරීම මෙහි අරමුණ වී ඇත. එහෙත් මෙම වැඩසටහනට එක්වී වසර 5 ක් තරම් කෙටි කාලයකින් අනතුරුව, වයස අවුරුදු 15 දී ශ්‍රී ලංකාවේ ජාතික කාන්තා ගොල්ෆ් ශූරිය බවට පත්වීමට ටානියා මිනෙල් බාලසූරිය සිසුවිය සමත් වූවා ය.
"රට තුළ දක්ෂතා වලින් පිරිපුන් දරු දැරියන් රැසක් සිටින බවට කිසිදු විවාදයක් නැහැ. අවශ්‍ය වන්නේ ඔවුන් හඳුනාගෙන, ඔවුන්ගේ දක්ෂතාවන් පෝෂණය කිරීම සඳහා සක්‍රීය වැඩපිළිවෙළක් පවත්වාගෙන යාමයි. ගොල්ෆ් ක්‍රීඩකයන් ලෙස අපගේ වගකීම වන්නේ රටේ ගොල්ෆ් ක්‍රීඩාව දියුණු කරමින් එය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම බව අප විශ්වාස කරනවා.” කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ වෘත්තීය ගෝල්ඞ් ක්‍රීඩා ප්‍රධානී ජෙහාන් ද සේරම් මහතා පැවසී ය.
සේරම් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඉතා සුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් පමණක් සිටින, සීමිත පහසුකම් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්රය තුළ පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කිරීමට සමත් වී ඇති බවයි. "ගොල්ෆ් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇතැම් අය සිතන පරිදි, මෙරට ගොල්ෆ් ක්‍රීඩාව තුළ ජයග්‍රහණ වාර්තා කළ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹ ප්‍රභූ පවුල් වල සාමාජිකයන් නොවෙයි. මෙවැනි දුර්මත දුරුකරමින් මෙම ක්‍රීඩාව තුළ කාටත් සමාන අවස්ථා පවතින බව පෙන්වා දීම, මේ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමේ වැඩසටහන් දියත් කිරීමේදී අපගේ මූලික ඉලක්කයක් වූවා. රෝයල් කලම්බු ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ සහ එහි සාමාජිකයන්ගේ දායකත්වය නිසා දැනටමත් අපට දක්ෂතා සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැුසක් හඳුනා ගැනීමට හැකිවී තිබෙනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
2018 දෙසැම්බර් 05 දිනට පෙර 0775445153 අංකයට WhatsApp අංකයට පණිවිඩයක් යොමුකිරීමෙන් රෝයල් කලම්බු ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ'A Day of Discovery' වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැකි වේ. අවස්ථා සීමිතයි.