Dec 10, 2018

ඩයලොග් ජාතික නෙට්බෝල් ශූරතාව හැටන් නැෂනල් පිලට

ඩයලොග් ආසිආටා පී එල් සී, ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සමග එක්ව සංවිධාන කළ ඩයලොග් ජාතික නෙට්බෝල් ශූරතාව දිනාගැනීමට හැටන් නැෂනල් බැංකු පිල සමත් විය.

වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකු පිල වෙතින් ලකුණු 47-27ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ පරාජයට පත්වූහ.

තරගයේ පළමු කාර්තුව ලකුණු 10-07ක් ලෙස නිමාකරගත් හැටන් නැෂනල් බැංකු පිල තරගයේ අර්ධය නිමා වෙද්දී ලකුණු 22-14ක් ලෙස ලකුණු 8ක පරතරයක් ඇති කරගත්තේය. ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ආරම්භයේ සිටම ලැබූ පසුබැසීම දිගින් දිගටම දක්නට ලැබූ අතර තෙවැනි කාර්තුව නිමා වෙද්දී ලකුණු 35-21ක් ලෙස හැටන් නැෂනල් බැංකුව ඉදිරියෙන් සිටියේය. අවසන් කාර්තුවේදී හැටන් නැෂනල් බැංකු පිල තවත් ලකුණු 12ක් එක්කර ගනිද්දී ගුවන් හමුදා පිලට ලකුණු 6ක් පමණක් එක් විය.

සුපිරි 4 දෙනාගේ වටයේදී සහභාගි වූ තරග 3 ම ජයගනිමින් අපරාජිත කණ්ඩායම ලෙසින් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ගුවන් හමුදා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ සුපිරි 4 දෙනාගේ වටයේදී තරග දෙකක් ජයගනිමිනි.

එහිදී ගුවන් හමුදා කණ්ඩායම පරාජය වූයේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම හමුවේ පමණි. සුපිරි 4 දෙනාගේ වටයේදී සෙලාන් බැංකු කණ්ඩායමට සහ යුද හමුදා කණ්ඩායම එරෙහිව පැවැති තරග වලදී ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කළේය.

මෙම ජාතික නෙට්බෝල් ශූරතාව සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් කණ්ඩායම් 24ක් ඉදිරිපත්ව සිටි අතර සෑම තරගයක්ම පැයක කාලයක් පැවැත්වීමට ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය කටයුතු යොදා ඇත.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top