Dec 18, 2018

ජපන් බේස්බෝල් හපන්නු කළ දින පහේ වැඩමුළුව

දින 5ක බේස්බෝල් පුහුණුකිරීමේ කඳවුරක් පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්වුණි.

මෙම කඳවුර ජපන් කාන්තා බේස්බෝල් සම්මේලනය, කොළඹ ජපන් තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ආධුනික ‍ බේස්බෝල්/ සැහැල්ලු පන්දු සම්මේලනය හා එක්ව පවත්වන ලදී.

මෙම අවස්ථාවට ජපන් බේස්බෝල් සම්මේලනයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබද අධ්‍යක්ෂිකා - හිරොකො යමදා මෙනවිය, ජපන් කාන්තා බේස්බෝල් සම්මේලනයේ පුහුණුකාරිනිය - අකිකො ශිමුරා මෙනවිය, ඕස්ට්‍රේලියානු කාන්තා බේස්බෝල් සම්මේලනයේ පුහුණුකාරිනිය - රීසා කගාවා මෙනවිය, ජපන් කාන්තා බේස්බෝල් සම්මේලනයේ හිටපු සාමාජිකා - අයකො රොක්කකු මෙනවිය හා ශ්‍රී ලංකාවේ කාන්තා බේස්බෝල් සදහා විශාල දායකත්වයක් ලබාදුන් මහනුවර හිටපු ජයිකා ස්වෙච්ඡා නිලධාරී - කසුයා යාගි මහතා සහභාගී විය.

2020 වසරෙහි ඔලිම්පික් සිළුව ටෝකියෝ නගරයට ලගාවන අවස්ථාවේදී ලොව පුරා 100 කට අධික රටවල්හි වෙසෙන මිලියන 10 ක ජනතාව වෙත ක්‍රීඩාවේ සතුට ලඟාකරවීම සදහා ජපන් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙහෙයවන “හෙට වෙනුවෙන් ක්‍රීඩාව” යන වැඩසටහන යටතේ ඔවුහු ලංකාවට පැමිණියහ.

මෙම ජපන් කාන්තා බේස්බෝල් සම්මේලනයට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබුණේ බේස්බෝල් පිළිබඳ එතරම් අවබෝධයක් නොමැති කාන්තාවන් අතර එහි සතුට සහ උද්වේගය පැතිරවීමටත් බේස්බෝල් ක්‍රීඩාවේ නියැලෙන කාන්තාවන් හට තම හැකියාවන් වර්ධනය කරගැනීම සදහා කුසලතා හා තාක්ෂණය පිළිබද දැනුවත් කිරීමටත් ය.

දෙසැම්බර් 6 සහ 7 යන දෙදින මහනුවර ප්‍රදේශයේ දින 3 ක් පුරා 100 කට වැඩි ආධුනික පිරිසක් සහ දෙසැම්බර් 10 වන දින දියගම ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව ක්‍රීඩාංගනයෙහි කැළණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයන්හි සිසුන්ද, කොළඹ සිරිමාවෝ සහ මාගෙදර උසස් පාසල්හි සිසුන්ද ඇතුලත්ව 50 කට ආසන්න ආධුනික පිරිසක් සහභාගී වූ කදවුරු දෙක හරහා ඔවුන්ගේ පළමු අරමුණ සාර්ථක කරගැනීමට හැකිවිණ.

ඔවුන්ගේ දෙවන අරමුණ සාර්ථක කරගැනීමේ අරමුණින් දෙසැම්බර් 7 සිට 9 වන දින දක්වා ශ්‍රී ලංකා යුධ හමුදා සහ නාවික හමුදා කාන්තා බේස්බෝල් ක්‍රීඩිකාවන් සදහා පුහුණු කදවුරක් පවත්වන ලදී.

“මගේ වසර 4ක බේස්බෝල් ක්‍රීඩා ජීවිතය තුල ජපන් පුහුණුකරුවන් යටතේ පුහුණුවක් ලැබුනේ පළමු වතාවටයි. මෙම වටිනා අවස්ථාව ලැබීම මහත් භාග්‍යයක් ලෙසයි මම සලකන්නේ” යැයි යුධ හමුදා කණ්ඩායමේ නායිකා මිල්කා ප්‍රියදර්ශනී මෙනවිය පැවසූ අතර, නාවික හමුදා කණ්ඩායමේ නායිකා එස්.ඩබ්.එස්.එම්. වික්‍රමරත්න මෙනවිය සඳහන් කර සිටියේ, “මෙම පුහුණු කදවුරෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඔවුන් හරිම කරුණාවන්තයි, මිත්‍රශීලියි. අපි ගොඩාක් විනෝද වුනා. ඒක හරිම විනෝදජනක,” බවයි.

දෙසැම්බර් 10 වන දින තානාපති නිල නිවසේදී පවත්වන ලද සමුගැනීමේ සාදයේදී ජපන් තානාපති අතිගරු අකිර සුගියම මහතා විසින් ලාංකීය බේස්බෝල් ක්‍රීඩකයින්ගේ උද්යෝගිමත්භාවය අගය කරන ලද අතර, ඔවුන්ගේ බේස්බෝල් සදහා වන විශිෂ්ටත්වය පිළිබද පුදුමයට පත්වන බව පවසන ලදී. එසේම ඔහු විසින් මෙම බේස්බෝල් පුහුණු කදවුරු සාර්ථක කරගැනීම සදහා කැපවුණු සියලු දෙනාට සිය ස්තූතිය පලකර සිටි අතර, විශේෂයෙන් ෆසිල් හුසේන් මහතා සභාපතිත්වය දරණ ශ්‍රී ලංකා ආධුනික ‍ බේස්බෝල්/ සැහැල්ලු පන්දු සම්මේලනයට සිය ස්තූතිය පලකරන ලදී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top