photographic 2
Dec 30, 2018

තිලංගට පක්ෂ රොත්තකගේ ජොබ් හෙටින් අවසන් ! Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත‍්‍රාත් පදනමින් සේවයේ නියුතු පිරිසක් වර්තමාන පරිපාලන ව්‍යාකූල තත්ත්වය ප්‍රයෝජනයට ගෙන ඔවුන්ගේ සේවය වසර දෙකකින් දීර්ඝ කරගැනීමට ගත් උත්සාහයක් නව ක්‍රීඩා අමාත්‍යවරයාට හසුවී ඇතැයි වාර්තා වේ.

වර්තමාන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්වීම් ලැබූ පසුගිය 20 වැනිදා පස්වරැවේ මෙම පිරිස ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරී මාර්ගයෙන් සේවය දීර්ඝ කරගැනීමට උත්සහ කර තිබේ.

ඒ පිළිබඳව දැනුවත් වූ හරීන් ප්‍රනාන්දු මහතා එය අත්හිටුවීමට උපදෙස් ලබාදී ඇතැයි ද පැවසේ.

තමන් වැඩ බාර ගැනීමෙන් පසුව ඒ පිළිබඳව දැනගැනීමත් සමඟ එය අත්හිටුවීමට කටයුතු කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා දේශයට පවසා තිබේ.

"පස්වරු 3.00ට විතර මට එවැනි දෙයක් දැනගන්න ලැබුණා. මම කථාකරලා කිව්වා එවැනි කිසිම දේකට අත්සන් කරන්න එපා කියලා. ඒ පිළිබඳව සොයාබලා කටයුතු කරනවා" යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත‍්‍රාත් පදනම මත සේවය කරන විධායක ශ්‍රේණියේ උසස්ම නිලධාරීන් කිහිපදෙනකු ඇතුළුව 20කට අධික සංඛ්‍යාවකගේ සේවා කොන්ත‍්‍රාත්තුව හෙට (31 වැනිදා) අවසන් වේ. මේ අතර වැඩිපිරිසක් සිටින්නේ තිලංග සුමතිපාල මහතාට කිට්ටුවෙන් කටයුතු කළ අය බවද පැවසේ.

එම නිලධාරීන් අතර ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරෝම් ජයරත්න යන මහත්වරු ඇතුළු විධායක ශ්‍රේණියේ නිලධාරීහු 10ක් පමණ සිටිති.

එම නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් ක්‍රිකට් ආයතනයේ වසර ගණනාවක් සේවය කරමින් වගකීම දැරූ පුද්ගලයෝ වෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පසුගිය තිලංග සුමතිපාල පාලනය තුළදී උපදේශකයන් සහ ඇතැම් තනතුරු නිර්මාණය කරමින් හිතවත් පුද්ගලයන්ට සුපිරි වැටුප් සමඟ තනතුරු ලබාදී තිබිණි.

මෙම පුද්ගලයන් නිසි බලධාරියා නොමඟ යැවීම සඳහා ඔවුන්ගේ ප්‍රධානියාගෙන් එම පුද්ගලයාගේ සේවය අවශ්‍ය බවත් තවත් වසර දෙකකින් සේවය දීර්ඝ කරන ලෙසත් ඉල්ලීමක් ඇතුළත් ලිපි ලබාගෙන ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් දෙපාර්තමේන්තුවල එකම තනතුරට බඳවාගත් කීපදෙනා බැගින් කටයුතු කරන අතර ඒ බොහෝ දෙනක් කිසිදු රාජකාරියකින් තොරව සුපිරි වැටුප් ලබති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානම පුටු කිහිපයක නිලධාරීන් වෙනස් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා බලාපොරොත්තු වන බවද මේ අතර වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top