Jan 16, 2019

දර්ශාගේ වාර්තාව කැඩූ කෙමි ට තහනම් උත්තේජක චෝදනා ! Featured

වසර 2014 කොරියාවේ ඉන්චියොන් හිදී පැවැති 17 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී දමයන්ති දර්ශා විසින් වසර 12ක් තම නම ඉදිරියේ සටහන්කරගෙන තිබූ ආසියානු ක්‍රීඩා උළෙල කාන්තා මීටර් 400 ඉසව්වේ තරග වාර්තාව බිඳ හෙළූ බහරේන් ක්‍රීඩිකා කෙමි අඩෙකෝයාට තහනම් උත්තේජක චෝදනා එල්ල වී තිබේ.

වසර 2002 ආසියානු ක්‍රීඩා උළෙලේදී දමයන්ති දර්ශා විසින් මීටර් 400 කාන්තා ඉසව්වෙන් ගොඩනඟා තිබූ තත්පර 51.13ක තරග වාර්තාව 2014 ආසියානු ක්‍රීඩා උළෙලේදී කිමි අඩෙකෝයා විසින් බිඳ හෙළන ලද්දේ තත්පර 51.11ක කාලයක් වාර්තා කරමිණි.

කෙසේවුවද, පසුගිය වසරේ නොවැම්බර් මාසයට පෙර සිදුකරන ලද තහනම් උත්තේජක පරීක්ෂණවලින් අනතුරුව ඇයට මෙම චෝදනා එල්ල වී ඇති අතර ස්ටැනොසොලෝල් නම් තහනම් උත්තේජකය ඇය ලබාගත් බවට තහවුරු වී තිබේ.

නයිජීරියාවේ උපත ලබා ඇති කෙමි අඩෙකෝයා 2014 වසරේ ආසියානු ක්‍රීඩා උළෙලට පෙර බහරේනය නියෝජනය කරමින් මලල ක්‍රීඩා පිටියට පිවිස ඇති අතර එම ක්‍රීඩා උළෙලේ මීටර් 400 හා මීටර් 400 කඩුලු යන ඉසව්වල රන් පදක්කම් ඇය විසින් හිමිකරගෙන තිබීම විශේෂත්වයකි.

ඉන්දුනීසියාවේ ජාකාර්තා හිදී පැවැති පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේදීද ඇය මීටර් 400 කඩුලු සහ මිශ්‍ර සහාය දිවීම මිටර් 400 ඉසව්වල රන් පදක්කම් හිමිකරගෙන ඇත. එසේම ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා මීටර් 400 ඉසව්වේ ශූරිය වන්නේද ඇයයි.

ඇයට එල්ල වී ඇති තහනම් උත්තේජක චෝදනා අනුව පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සඳහා බලපෑමක් එල්ල වීමට ඉඩප්‍රස්තාව තිබුණද 2014 ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සඳහා එවැනි බලපෑමක් එල්ල නොවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top