OPEN

#

OPEN

#

Jan 16, 2019

හතුරු, වාර්තාවකට ඩොලර් 60,000ක් ඉල්ලලා! Featured

ජාතික ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් වාර්ෂිකව සකස් කරන දත්ත සහ ඇගැයුම් වාර්තාව 2018 වසර සඳහා සකස් කිරීම වෙනුවෙන් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඇමෙරිකානු ඩොලර් 60,000ක් අය කරගෙන ඇතැයි cricketage.in වෙබ්අඩවිය වාර්තා කර සිටී.

එම දැවැන්ත මුදල ගෙවීමට ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ද අනුමත කර ඇතැයි එහි දැක්වේ.

ක්‍රිකට් ආයතනය සමග එළැඹ ඇති ඔහුගේ සේවා ගිවිසුම යටතේ හතුරුසිංහ වාර්ෂිකව මෙවැනි වාර්තා දෙකක් ලබාදිය යුතු වන අතර, මේ අනුව ඒ සඳහා වාර්ෂිකව ඩොලර් 120,000 ගෙවිය යුතු වේ.

හුදෙක් ඇගයුම් වාර්තාවක් සඳහා මෙවැනි ධනස්කන්ධයන් ක්‍රිකට් ආයතයෙන් ලබාගැනීම ජාතික අපරාධයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු සභාපතිවරයෙකු පැවසූ බව ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.

වසර 2017 දෙසැම්බර් මාසයේදී එවකට ක්‍රිකට් සභාපති ව සිටි තිලංග සුමතිපාල විසින් හතුරුසිංහව සේවයට ගෙන තිබුණු අතර, එම අවස්ථාවේ දී ඉහළම ගෙවීමක් ලබන ලොවපුරා ජාතික ක්‍රිකට් පුහුණුකරුවන් අතරින් හතුරුසිංහ තෙවැනි ස්ථානයට පත් විය. ඔහුට වඩා ගෙවීම් ලබන්නේ එංගලන්තයේ ට්‍රෙවර් බේලිස් හා ඉන්දියාවේ රවි ශාස්ත්‍රී පමණි.

තත්ත්වය එසේ පැවතියද, ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩා පිටියේ දක්වන දස්කම් දිනෙන් දින බිඳවැටෙමින් පවතින අතර, මෙන්ම ක්‍රීඩා පිටියෙන් පිටදී විවිධ මතභේදාත්මක සිද්ධීන් වාර්තා විය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top