Feb 05, 2019

ප්‍රවීනයෝ රැසක් එළියට විසිවෙද්දි, නවකයෝ රැසක් ඇතුළට

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැතත්, 17 දෙනෙකුගෙන් යුත් සංචිතයට නවක ක්‍රීඩකයන් 5 දෙනෙකු සහ කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටි ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළත්ව ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට පවරා ඇතිබවද දැනගන්නට ලැබී ඇති අතර, සුපුරුදු පරිදි නිරෝෂන් දික්වැල්ල උප නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය. කණ්ඩායමේ නායකත්වය මෙන්ම, කණ්ඩායමේ සාමාජිකත්වයද දිනේෂ් චන්දිමාල්ට අහිමිවී ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, මොහොමඩ් ෂිරාස්, ලසිත් ඇඹුල්දෙණිය හා චාමික කරුණාරත්න යන නවක ක්‍රීඩකයන් 5 දෙනා ඇතුළත්ව සිටිති.ඊට අමතරව කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටි කෞෂාල් සිල්වා හා මිලින්ද සිරිවර්ධනද දේශිය තරග බිමේ දක්ෂතා දැක්වීම හේතුවෙන් නැවතත් කණ්ඩායමට එක් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව දඟ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරාටද කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති බව දැන ගන්නට ලැබී ඇත.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ මස 13 වැනිදා ඩර්බන් නුවරදී ආරම්භ වීමට නියමිතය.

දකුණු අප්‍රිකානු සංචාරය සඳහා තෝරාගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය සඳහා යවනු ලැබ ඇත.

ටෙස්ට් තරගාවලිය සඳහා තෝරාගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායම

■ දිමුත් කරුණාරත්න (නායක)

■ නිරෝෂන් දික්වැල්ල (උපනායක)

■ ළහිරු තිරිමාන්න

■ ධනංජය ද සිල්වා

■ කුසල් මෙන්ඩිස්

■ කුසල් ජනිත් පෙරේරා

■ මිලින්ද සිරිවර්ධන

■ කෞෂාල් සිල්වා

■ ඕෂධ ප්‍රනාන්දු

■ ඇන්ජලෝ පෙරේරා

■ සුරංග ලක්මාල්

■ කසුන් රාජිත

■ විශ්ව ප්‍රනාන්දු

■ චාමික කරුණාරත්න

■ මොහොමඞ් ෂිරාස්

■ ලක්ෂාන් සඳකැන්

■ ලසිත් ඇඹුල්දෙණිය

(mirrorgames)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top