May 27, 2019

ක්‍රිකට් ආයතනයේ ආරාධනාවට මහේල බෑ කියයි Featured

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන වෙත කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

සති අන්ත පුවත් පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට සෑම දෙයක්ම කර ඇති බවත් ඒ අනුව තමන්ට කණ්ඩායම තුළ සිදුකිරිමට දෙයක් නොමැති බවත් ක‍්‍රීඩා අමාත්‍යවරයාගෙන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මෙම ඉල්ලීම් තමන්ට ලැබුණ බවද ඔහු මෙහිදී පවසා ඇත.

"මට වටහාගන්න බැරිවුණා මට කරන්න තියෙන්නේ මොකක්ද කියලා. කණ්ඩායම තෝරාගෙන ඉවරයි. හැම දෙවයක්ම කරලා ඉවරයි. දැන් මට ඇවිත් යමක් එකතු කරන්න දෙයක් නෑ.මම තවමත් කැමතියි කණ්ඩායම් කළමණාකරනය සමග එක්ව මොකක් හරි කරන්න.නමුත් ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග නෙමෙයි. ඒක තමයි මම කිව්වේ.ඒ තැන මට ගැලපෙන්නේ නෑ කියලා දැනගෙන මට ඇවිත් වැඩ කරන්න බෑ.අපි මාස 8ක කාලයක් වැය කරලා වෘත්තීමය ක්‍රිකට් යාන්ත්‍රණයක් සකස් කළා. අපි ඒක ක්‍රියාත්මක කරන්න කින්නා. නමුත් ඒක ප්‍රතික්ෂේප කළා. "

මහේල මෙලෙස අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන හේතුව ලෙස සදහන් කළ හැකි වන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ඔහු විසින් ඉදිරිපත් කළ අදහස්, යෝජනා හා නිර්දේශ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට පෙර ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධිය යැයි කි‍්‍රකට් විචාරකයින්ගේ මතය වේ.

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ අරවින්ද ද සිල්වා යන අයගෙන් සමන්විත කමිටුවක් විසින් ද මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය සදහා නිර්දේශ ඉදිරිපත් කර තිබුණ ඊටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණි.

මහේල ජයවර්ධන මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර මීට පෙර ඔහු එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස ද කටයුතු කළේය.

මහේලගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට අවස්ථා 2කදී ම අයි.පී.එල් ශූරතාවය හිමි කර ගෙන තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top