Jun 19, 2019

බැඩ්මින්ටන් ඒකාධිකාරය බිඳහෙලන නිලවරණය 21 දා Featured

බාලගිරි දෝෂයට හසු ව තිබූ බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය මේ මස 21 වැනිදා පැවැත්වීමට නියමිතය.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණයට අභියෝග කරමින් පිරිසක් උසාවි යාම හේතුවෙන් අතුරු පාලනයකට නතු වූ බැඩ්මින්ටන් පරිපාලනය වසර එකහමාරකට අධික කාලයක් මුළුල්ලේ අයාලේ ගිය අතර පත් කරන ලද අතුරු කමිටු සභාපතිවරයා ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කළේය.

ඔහු සමග පත්කරන ලද සෙසු අතුරු කමිටු සාමාජිකයෝ වරින්වර ඉල්ලා අස්වූයේ මොහුගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමිනි.

මේ අතර පැවති ඔලිම්පික් කමිටු නිලවරණයට ද ක්‍රීඩා ඇමති නියෝගයට පිටුපා සහභාගීවූ මොහු එහි නිලයකට ද තේරී පත්වූයේ ජයග්‍රාහී පාර්ශවයට ඡන්දය ලබා දීම නිසාය.

මේ අතර කාලයේ දී ‍ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩාවේ මට්ටම බරපතළ අන්දමට කඩා වැටුණු අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකුට කෙනෙහිලිකම් සිදුවිය.

ක්‍රීඩා අමාත්‍යාංශය මගින් දිගින් දිගටම බැට්මින්ටන් නිලවරණය ඉක්මනින් පැවැත්වීමට කටයුතු යොදනු ලැබූ නමුත් මෙම අතුරු කමිටු සභාපතිවරයා කුමක් හෝ හේතුවක් හදා ගනිමින් එය කල් දමන්නට කටයුතු කරන ලදී.

සුදිර්මන් කුසලාන තරගාවලියට සමගාමීව පැවැති ආසියානු බැඩ්මින්ටන් සංගම් රැස්වීමටද බලෙන් සහභාගී වූ ඔහු උප සභාපති ධුරයකට තරගවැදුණු නමුත් එහිදී පරාජයට පත්වූයේ මෙතෙක් ශ්‍රී ලංකාවට ආසියානු බැඩ්මින්ටන් සංගමේ හිමිව තිබූ නිල ඡන්ද අයිතියද අහිමි කරමිනි.

මේ අතර එළඹෙන නිලවරණයේදී තමන්ට හිතවත් නොවන අනුබද්ධ සංගම් කිහිපයකටද ඡන්ද බලය හිමි කිරීමේ උත්සාහයක මොහු නිරත වූ නමුත් ක්‍රීඩා ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් එම ප්‍රයත්නය ව්‍යර්ථ විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top