Jul 18, 2019

මහේල ඉන්දීය පිලට එකතු වෙයි ! Featured

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම් කර ඇති අපේක්ෂකයින් අතර ශ‍්‍රී ලංකාවෙන් බිහිවු සුපිරි පිතිකරුවෙකු හා හිටපු සුපිරි නායකයෙකු වන මහේල ජයවර්ධන ද ඇතුළත් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ගැරී කර්ස්ටන්, ටොම් මූඩි හා විරේන්ද්‍ර ෂෙවාග් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා අයදුම් කර ඇති සෙසු අය වේ.

මහේල වසර තුනක සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර එම කාලය තුල දෙවතාවක් ශූරතාවය ජයග්‍රහණය කිරීමට මුම්බායි කණ්ඩායම සමත් විය. මහේල බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරයි.

පසුගිය මාසයේ දී මහේල එංගලන්තයේ පන්දු 100 ක්‍රිකට් තරගාවලියක සදර්න් බ්‍රේව් නම් කණ්ඩායමක පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිත අතර එම තරගාවලිය 2020 ජූලි මස ආරම්භ වීමට නියමිතය.

ඉන්දීය කණ්ඩායම මේ වන විට රවි ශ්‍රාස්තිගේ පුහුණුකාරීත්වය යටතේ පවතින අතර ඔහු 2017 වසරේ පුහුණුකරු ලෙස පත්වීමට පෙර ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස අනිල් කුම්බ්ලේ කටයුතු කළේය. පුහුණුකරු බවට පත්වී වසරකට පසුව අනිල් කුම්බ්ලේ එම තනතුරෙන් ඉවත් වූයේ ඉන්දීය නායක විරාත් කෝලි සමඟ කටයුතු කිරීම අපහසු බව පවසමිනි.

ඉන්දීය ක්‍රිකට් කවුන්සලය විසින් තම කණ්ඩායමේ තනතුරු 6ක් සඳහා මෙලෙස අයදුම්පත් කැඳවා ඇති අතර එම තනතුරු සඳහා අවශ්‍ය සුදුසුකම් ද ප්‍රකාශයට පත් කර ඇත.

1) ප්‍රධාන පුහුණුකරු
2) පිතිකරණ පුහුණුකරු
3) පන්දු යැවීමේ පුහුණුකරු
4) පන්දු ‍රකින පුහුණුකරු
5) භෞත චිකිත්සක
6) පාලන කළමනාකරු
7) ප්‍රධාන පුහුණුකරු සඳහා වන සුදුසුකම්

* ටෙස්ට් වරම් සහිත කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ලෙස අවම වශයෙන් වසර දෙකක් කටයුතු කර තිබීම හෝ ඉන්දීය ප්‍රිමියර් ලීග්/ හෝ සමාන ජාත්‍යන්තර තරගාවලියක හෝ/ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමක හෝ/ ජාතික A කණ්ඩායමක පුහුණුකරු ලෙස අවම වශයෙන් වසර තුනක් කටයුතු කර තිබීම.

* අවම වශයෙන් ටෙස්ට් තරග 30ක් ක්‍රීඩා කර තිබීම හෝ/ එක්දින තරග 50ක් ක්‍රීඩා කර තිබීම හෝ/ ඉන්දීය ක්‍රිකට් කවුන්සලයේ 3 වැනි මට්ටමේ සහතිකයක් තිබීම හෝ/ එයට සමාන සහතිකයක් තිබීම.

මෙම අයදුම්පත් සඳහා අවසන් දිනය ලෙස ජූලි මස 30 වැනිදා දක්වා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top