Jul 26, 2019

කුලේ දුන්නු සපෝර්ට් එකෙන් මම කඩුලු ලබන පන්දු යවන්නෙක් වුණේ - මාලිංග

වසර 15ක් තිස්සේ ශ්‍රී ලංකා එක්දින පිටියේ දස්කම් පෑ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසන් එක්දින තරගයට අද (26) එක්වෙයි.

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන දිවා - රාත්‍රී එක්දින ක්‍රිකට් තරගය ලසිත් මාලිංග සහභාගීවන අවසන් එක්දින තරගය වේ.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එක්දින කඩුලු 49ක් ලබා ඇති මාලිංග කඩුලු ත්‍රිත්ව තුනක් වාර්තා කළ ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාංගණයේදී සමුගැනීම සටහන් කිරීම ද විශේෂත්වයකි.

සමුගැනීමේ තරගය අවසානයේ ලසිත් මාලිංග මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය අගයමින් විශාල වටිනාකමකින් යුත් ‘රන් කාසියක්’ සමරු තිළිණයක් ලෙස ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. තරගය පැවැත්වෙන ආර්. ප්‍රේමදාස
ක්‍රීඩාංගණයේ හා අවට ලසිත් මාලිංගගේ රුව ඇතුළත් යෝධ පුවරු කිහිපයක් ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා තිබේ.

2004 වසරේ ජූලි මස 17 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව සිය පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ මාලිංග එදා මෙදාතුර එක්දින තරග 225කට ක්‍රීඩාකර ඇති අතර කඩුලු 335ක් බිඳ හෙලා තිබේ.

ලොව භයානකම යෝකර් පන්දු යවන්නා ලෙස සැලකෙන මාලිංග 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පන්දු 4කදී පිට පිට කඩුලු 4ක් බිඳ හෙලා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී එවැනි දස්කමක් දැක්වූ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්විය.

මාලිංගගේ සමුගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට විශාල ගැටලුවක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැවැසීය. “ප්‍රතිවාදීන්ට තරගය ආරම්භයේ සිට තර්ජනාත්මකව පන්දු යවන මාලිංග රටට විශාල සේවයක් කළ ක්‍රීඩකයෙක්.

ඔහු කඩුලු බිඳ හෙලන පන්දු යවන්නෙක්. දැන් අපට ප්‍රශ්නයක් වන්නේ කඩුලු ලබා ගන්නා වේග පන්දු යවන්නකු අහිමිවීමයි. එවැනි පන්දු යවන්නනෙකු දැන් අප සොයාගත යුතු වෙනවා” දිමුත් කරුණාරත්න පැවැසීය.

මට කිසි කලේ “කුලේ” අමතක නොවේ

“වසර 2017දී මාව කණ්ඩායමෙන් ඉවත් කරලා තිබුණා. දිගින් දිගටම මාව කණ්ඩායමට එක් නොකර සිටියදී මා පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටියා සමු ගැනීමට අවශ්‍යයි කියා. ඒත් ඔවුන්ගේ පිළිතුර වුණේ සමු ගැනීමට වෙනම තරගයක් ලබාදිය නොහැකි බවයි. මට වෙන විකල්පයක් තිබුණේ නෑ. ඒනිසා මා අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා නැවැත කෙසේ හෝ කණ්ඩායමට පැමිණෙන බවට. මා තනියම පන්දු යැවීම පුහුණුවී ආසියානු ශූරතාවලියට ආවා. ඒත් ඇතැම් අය කිව්වා මට එක දිගට තරග දෙක තුනක් ගහන්න බෑ කියලා. නමුත් මා එක දිගට තරග කළා. හැමොටම අවශ්‍ය විදිහට පිළිතුර දුන්නා. කාටවත් අවශ්‍ය විදිහට නොවෙයි මට ඕනෑ වේලාවටයි මා සමුගැනීමට තීරණය කළේ. ඒ නිසා මට විශාල සතුටක් තියෙනවා” මාලිංග පැවැසීය.“මා ජාත්‍යන්තර පිටියට එනවිට වාස් හිටියා. ඔහු සමග මා පන්දු යැවීම කළේ. පස්සේ කුලසේකර එකතු වුණා. අපි දෙන්නා දෙපැත්තෙන් වසර 13ක් පමණ පන්දු යැව්වා. කුලසේකර එක දිගට ඕවර 5ක් විතර දානවා ලකුණු නොදී. ඒ පීඩනය මැද අනෙක් පැත්තෙන් පන්දු යවන මට පිතිකරුවන් පහර දෙන්න උත්සහා කරද්දී මට කඩුලු ලැබුණා. ඒ නිසා කඩුලු ලබන පන්දු යවන්නකු බවට පත් වුණා. කුලේ දුන්න සපෝට් එක නිසයි එහෙම වුණේ. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නෑ” මාලිංග අතීතාවර්ජනයක යෙදුණි.

ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, ශෙහාන් ජයසූරිය, වනිඳු හසරංග, අකිල ධනංජය, ඉසුරු උදාන, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, කසුන් රාජිත, ලසිත් මාලිංග, දසුන් ශානක.

බංග්ලාදේශ සංචිතය

ටමීම් ඉක්බාල් (නායක), සෞම්‍ය සර්කාර්, මුෂ්ෆිකුර් රහීම්, එනමුල් හක්, මහ්මුදුල්ලා රියාද්, මොසදික් හුසේන්, සබීර් රෙහ්මාන්, මොහම්මඩ් මිතුන්, මෙහෙදි හසන්, තයිජුල් ඉස්ලාම්, මුස්තාෆිසූර් රහ්මාන්, රුබෙල් හොසේන්, ෆර්හාඩ් රීසා, ටස්කින් අහමඩ්.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top