Jul 29, 2019

වසර තුනහමාරකට පසුව ලංකාව ක්‍රිකට් තරගාවලියක් ජයගනියි

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (28) පැවැති දෙවැනි දිවා - රාත්‍රී එක්දින ක්‍රිකට් තරගයේදී කඩුලු 7ක ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල තරගයක් ඉතිරිව තිබියදී තරග 2 - 0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සමත් විය.

මෙලෙස ශ්‍රී ලංකා පිල තම රටේදී එක්දින තරගාවලි ජයක් හිමිකර ගත්තේ මාස 44කට පසුව වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා පිල තම මවුබිමේදී අවසන් වරට තරගාවලි ජයක් හිමිකරගෙන තිබුණේ 2015 වසරේ බටහිර ඉන්දිය කොදෙව් පිලට එරෙහිවය.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය මුලින් පන්දුවට පහරදීමට තීරණය කරමින් සිය පන්දුවාර 50 දී කඩුලු 8ක් දැවී ලකුණු 238ක් ලබාගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 44.4කදී කඩුලු 3ක් දැවී ලකුණු 242ක් ලබා ජය තහවුරුකර ගත්තේය.

හතරේ පහරකින් ජයග්‍රහණය සැමරූ මැතිව්ස් තම එක්දින දිවියේ 39වැනි අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 52ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 41ක් ලබා ගත්හ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 75කදී හයේ පහර දෙකක් හා හතරේ 9ක් සහිතව ලකුණු 82ක් ලබා තම දෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට වඩාත් වාසිදායක විය.

ශ්‍රී ලංකා පළමු කඩුල්ලට අවිශ්ක හා දිමුත් ලකුණු 71ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර දිමුත් ලකුණු 15කට දැවී ගියේය.

මුෂ්ෆිකුර් රහීම් තම එක්දින දිවියේ ලකුණු 6000 සම්පූර්ණ කිරීම විශේෂත්වයක් වූ අතර 8වැනි එක්දින ශතකය ඔහුට අහිමිවූයේ තවත් ලකුණු 2ක් අඩුවීමෙනි.

එක් අන්තයකින් බංග්ලාදේශ පිතිකරුවන් දැවී යද්දී අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිස අවසන් පන්දුව දක්වා පිටියේ රැදි සිටි මුෂ්ෆිකුර් රහීම් පන්දු 110කදී හතරේ පහර 6ක් හා හයේ පහරක් එල්ල කරමින් නොදැවී ලකුණු 98ක් ලබා ගත්තේය.

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර අවසන් එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මේ 31 වැනිදා පැවැත්වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top