Aug 05, 2019

ක්‍රීඩා උළෙලකට ගිය සබරගමු සරසවි සුසුවෙක් ඉතාලියේදී පැනගිහින් Featured

ඉතාලියේ පැවැති ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලට සහභාගීවූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයකු එම ක්‍රීඩා උළෙල අතරතුරදී පැනගොස් තිබේ.

ත්‍රිකුණාමලයේ පදිංචි සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මේ ක්‍රීඩකයා මීටර් 100 සහාය දිවීමේ ඉසව්වට සහභාගීවූ අතර එම තරගයට සහභාගීවීමෙන් අනතුරුව පසුදින රාත්‍රියේ ක්‍රීඩා කණ්ඩායම නවාතැන්ගෙන සිටි හෝටලයෙන් පලාගොස් ඇති බව පැවසේ.

ක්‍රීඩා කණ්ඩායම භාරව සිටි නිලධාරීන් මේ සම්බන්ධව ඉතාලි පොලිසියට පැමිණිලි කර ඇති අතර මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව වාර්තා වේ.

මේ ක්‍රීඩා උළෙල පසුගිය ජූලි 3 වැනිදා සිට ජූලි 14 වැනිදා දක්වා දකුණු දිග ඉතාලියේ නැප්ලස් නගරයේ පැවැති අතර එයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 51ක් සහභාගී වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම නැවැත පැමිණෙද්දී ක්‍රීඩකයාගේ අතුරුදන්වීම සම්බන්ධව කටුනායක ගුවන් තොටුපොල පොලිසියටද පැමිණිල්ලක් යොමු කිරීමට කණ්ඩායම භාර නිලධාරීන් පියවර ගෙන තිබේ.

මේ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට කිසිදු පදක්කමක් දිනාගත නොහැකි වුවද ඇතැම් ඉසව්වලින් දෙවැනි වටයට පිවිසීමට හැකියාව ලැබී ඇත. අතුරුදහන් වූ ක්‍රීඩකයා සහභාගීවූ මීටර් 100 සහාය දිවීමේ ඉසව්ව තත්පර 42.13කින් නිමකොට 14වැනි ස්ථානයට
පත්විය.

රටවල් 118ක් සහභාගීවූ මේ ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 60,00ක් පමණ එක්ව සිටි අතර ජපානය රන් පදක්කම් 8ක්, රිදී පදක්කම් 6ක් හා ලෝකඩ පදක්කම් 5ක් දිනා පෙරමුණේ පසුවිය. යුක්රේනය රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 3ක් දිනා දෙවැනි
ස්ථානයට, ඔස්ට්‍රේලියාව රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනා තෙවැනි ස්ථානයට පත්විය.

මෙතරම් විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගිවුවද ඉන් කිසිවකු මෙසේ ඉතාලියේදී අතුරුදහන්ව නැති බව එරට ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top