පාපන්දු පුහුණුකරුට ලබාදී ඇති නව ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වුවහොත් ලබන වසරේ සිට ඒ මහතා පාපන්දු පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට ශ්රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇතැයි පැවසේ.
එළඹෙන දෙසැම්බර් මුල් සතියේ පැවැත්වෙන මේ ක්රීඩා උළෙලට ශ්රී ලංකා 23න් පහළ පාපන්දු ක්රීඩකයන් ක්රීඩා කරන අතර එම වයස් සීමාවේ බහුතරයක් ජාතික පාපන්දු සංචිතයේ ක්රීඩා කරමින් සිටීමද විශේෂත්වයකි.
වසර 2006දී කොළඹදී පැවැති දකුණු ආසියා ක්රීඩා උළෙලේදී ශ්රී ලංකා පාපන්දු පිල අවසන් මහා තරගය දක්වා පැමිණි අතර අනතුරුව පැවැති ඩකා හා ගුවහාතී ක්රීඩා උළෙල දෙකේදීම මූලික වටයෙන්ම ශ්රී ලංකා පාපන්දු පිල ඉවතට විසි විය.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට වසර 2ක කොන්ත්රාත් කාලයකට පත්ව සිටින පාපන්දු පුහුණුකරු රුමී පකීර් අලී මහතා යටතේ ශ්රී ලංකා පාපන්දු පිල මේ දක්වා තරග 13කට ක්රීඩා කර ඇති අතර එයින් තරග 10ක් පරාජයවී තරග 2ක් ජය පරාජයෙන් තොරව හා තරගයක ජයග්රහණය වාර්තා කර තිබේ.
ශ්රී ලංකා පාපන්දු පිලේ හිටපු දක්ෂ ක්රීඩකයෙක්වන පකීර් අලී මහතා මෙයට පෙර ශ්රී ලංකා පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ අතර මාලදිවයින, බංග්ලාදේශය හා ඉන්දියාවේ මුල් පෙළේ පාපන්දු ක්රීඩා සමාජ කිහිපයක පුහුණුකරුවී අත්දැකීම් බහුල අයෙකි.