Sep 06, 2019

සැලැස්මක් නැති ක්‍රිකට් විශ්වවිද්‍යාලයකට මිලියන 1200ක් Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඉදිරියේදී ස්ථාපනය කිරීමට සැරසෙන ක්‍රිකට් විශ්වවිද්‍යාලය සඳහා රුපියල් මිලියන 1200ක සම්පූර්ණ මුදල් ඇස්තමේන්තුවක් සකස් කර තිබුණද ඒ සඳහා නිසි ක්‍රියාපටිපාටියක් මෙතෙක් සිදුනොකර මිලියන 30 කට වැඩි මුදලක් වියදම් කර ඇතැයි වාර්තා වේ.

කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන්ගෙන් කරන ලද කරුණු විමසීමකදී මෙම ක්‍රිකට් විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු අනාවරණය විය.

ක්‍රිකට් විශ්වවිද්‍යාලය සකස් කිරීමට ඉඩම මහනුවර අස්ගිරි විහාරස්ථානයෙන් මිලදී ගෙන ඇති බවද එහිදී වැඩිදුරටත් අනාවරණය විය.

ක්‍රිකට් විශ්වවිද්‍යාලයකින් සිදුකරනු ලබන ප්‍රධාන කර්තව්‍යයන් වන්නේ ක්‍රිකට් පුහුණුකරුවන්ගේ වැඩමුළු, ක්‍රිකට් තණතිලි සකසන්නන්ගේ වැඩමුළු සහ ක්‍රිකට් සම්බන්ධ අනෙකුත් ජාත්‍යන්තර පාඨමාලාවන් වේ. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයක් සකස් කිරීමට පෙර එ් සඳහා අවශ්‍ය විෂය පාඨාමාලාවද නොමැතිව මිලියන 1200 ක ඇස්තමේන්තුවක් සකස් කර ඇති බව කෝප් කමිටුවේදී හෙළි විය.

තවමත් අත්තිවාරමක් හෝ සකස් කර නොමැති ක්‍රිකට් විශ්වවිද්‍යාල ඉඩම මිලදී ගැනීමට රුපියල් මිලියන 25 ක් ගෙවා තිබේ. මිලියන 50 ක් එම ඉඩම වෙනුවෙන් වෙන් කළද ඉතිරි මිලියන 25 ක මුදල අස්ගිරි මහ නාහිමියන් විසින් ප්‍රතික්ෂේප කළ බවද ක්‍රිකට් නියෝජිතයන් කෝප් කමිටුවේදී පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top