Sep 19, 2019

ක්‍රිකට් ලොක්කන්ට කෝප් කමිටුවෙන් දැඩිව අවවාද කරයි Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු සිව් දෙනකු ඊයේ (18) වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටියද එහිදී ඔවුන්ගෙන් කරුණු නොවිමසා දැඩි අවවාද කිරීමට කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කටයුතු කර ඇත.

මීට පෙර කෝප් කමිටු සැසි මග හරින ලද ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, උප සභාපති රවීන් වික්‍රමරත්න, පරිපාලන අංශ ප්‍රධානී අරුණ ද සිල්වා සහ උපභාණ්ඩාගාරික ලලිත් රඹුක්වැල්ල යන මහත්වරු කෝප් කමිටුව හමුවේ පෙනී සිටියේය.

එහිදී ඔවුන් පසුගිය කෝප් කමිටු කැඳවීම්වලට සහභාගී නොවීම සම්බන්ධයෙන් සමාවද ඉල්ලා සිටීම විශේෂත්වයකි.

මින් ඉදිරියට පැවැත්වෙන කෝප් කමිටු කැඳවීම් සඳහා ඕනෑම අවස්ථාවක සහභාගිවීමට සුදානම් බව ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු නිලධාරීහු පොරොන්දු වී ඇත.

ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් සහභාගි වන අයි.සී.සී. සහ ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීම් පැවැත්වෙන දින වකවානු සම්බන්ධයෙන් කාල සටහනක්ද කෝප් කමිටුව විසින් ඉල්ලා තිබේ.

මින් ඉදිරියට කොප් කමිටුව විසින් කළ දැනුම්දීම්වලට ප්‍රතිචාර නොදක්වමින් එය මග හරිනු ලැබුවහොත් එය පාර්ලිමේන්තුවට කරන අගෞරවයක් වශයෙන් සලකන බවද කෝප් කමිටු සභාපතිවරයා ක්‍රිකට් ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top