Sep 20, 2019

පාපන්දු ලේකම් ඉල්ලා අස්වෙන්න යයි Featured

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් යූ. එල්. ජස්වර් මහතා තම නිල කාලය අවසන්වමට පෙර ඉල්ලා අස්වීමට සූදානම් වෙයි.

පසුගියදා පැවැති පාපන්දු සම්මේලනයේ විශේෂ මහා සභා රැස්වීමේදී ඒ මහතා සිය ධුර කාලයට පෙර ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ අතර එය මෙවර තම කාල සීමාවේ අවසන් විශේෂ මහා සභා රැස්වීම බවට ප්‍රකාශයක් ද කර ඇත.

වසර 2017 ජූලි මාසයේ පැවැති පාපන්දු නිලවරණයේදී සභාපති අනුර ද සිල්වා මහතාගේ කණ්ඩායමෙන් ඉදිරිපත්වූ ජස්වර් මහතා ප්‍රතිවාදී කණ්ඩායමේ ලේකම් තනතුරට ඉදිරිපත්වූ ට්‍රෙවර් රෙකමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් නිතරගයෙන්ම පාපන්දු ලේකම්
තනතුරට පත් වූවේය.

එම පාපන්දු නිලවරණයේ සිට වසර 2021 දක්වා පාපන්දු ලේකම් ලෙස වසර 4ක කාලයකට පත්ව සිටින ජස්වර් මහතා මෙලෙස වසර දෙකයි මාස දෙකක් ගතවෙද්දී හදිසියේම ඉවත්වීමට සුදානම්වීම ප්‍රශ්න සහගත බැවින් අප කළ විමසූමකදී පැවැසූවේ තනතුරෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධව මේ මොහොතේ කිසිවක් ප්‍රකාශ කිරීමට සූදානමක් නොමැති බවය.

“මා ඉදිරි මාස දෙක තුන තුළ ලේකම් තනතුරෙන් ඉවත් වේවි. හැබැයි දැන්ම හේතුව අහන්න එපා” ජස්වර් මහතා පැවැසීය.

එහෙත් පාපන්දු සම්මේලනයේ විශේෂ මහා සභා රැස්වීමේදී ඉල්ලා අස්වීමේ සූදානම පිළිබද කළ දැනුම්දීමෙන් පසු පාපන්දු ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් තවදුරටත් තනතුරේ රැදී සිටින ලෙස පාපන්දු ලීග් ප්‍රධානීන් හා විධායක කමිටු සාමාජිකයන් කිහිප දෙනකු ජස්වර් මහතා වෙත ඉල්ලීම් ඉදිරිපත්කර ඇත.

එම ඉල්ලීම්වලට දැක්වූ ප්‍රතිචාරය කුමක්දැයි කල විමසීමකදී පැවැසූවේ “මගේ කටයුතු ගැන දන්නා බහුතරය මගෙන් ඉල්ලීම් කළත් මගේ තීරණයේ වෙනසක් නෑ. මා පාපන්දුවට ආදරෙයි. සම්මේලනයේ තනතුර හැර ගියත්, අවස්ථාවක් ලද සැනින් ඉදිරියේදී පාපන්දු
දියුණුවට කැපවීම අත් හරින්නේ නෑ. මා ගෙවී ගිය කාලයේ පාපන්දු පරිපාලන ව්‍යුහයේ වෙනසක් ඇති කළා. පරිපාලනය හා සේවක ප්‍රමීතීන් උසස් තත්ත්වයකට ගෙන ආවා. අප පත්වෙද්දී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හා ආසියානු පාපන්දු සම්මේලනය මුදල් දීම
නවතා තිබුණා. මා ශ්‍රී ලංකා පාපන්දුව ගැන ජාත්‍යන්තරයේ විශ්වාසය ගොඩනැංවෙන පරිදි කටයුතු කොට ඒ මුදල් නැවැත ගත්තා. වසර 2030 දක්වා අපේ දිගුකාලීන දැක්මක් ඇති සැලැස්මක් හඳුන්වා දුන්නා. දැන් ක්‍රියාත්මක වන්නේ ඒ වැඩ සටහනයි.

පුහුණුකරුවන්ගේ අධ්‍යාපන වැඩසටහන් හා විභාග, ලීග් වලට ප්‍රතිපාදන වැඩි කිරීම පමණක් නොවෙයි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තරග වැඩි පුර ගෙන ඒමට වැඩ කළා. මේ වසරේ නොවැම්බර් මාසයේ ආරම්භවන අර්ධ වෘත්තීය පාපන්දු තරගාවලිය සැලසුම් කළා. කෙටි කාලයක් තුළ පාපන්දුවට විශාල වැඩ කොටසක් කිරීමේ සතුට මා සතුයි” ජස්වර් මහතා පැවැසීය.

වයස 40 වියෙහි පසුවන ජස්වර් මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයෙකුවන අතර පාපන්දු ක්‍රීඩා පරිපාලකයකු ලෙස කලක සිටම අත්දැකීම් ලබා ඇත. 1992දී පාපන්දු විනිසුරුවකු ලෙස කටයුතු කළ ඒ මහතා මේ වනවිට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හා
ආසියානු පාපන්දු සම්මේලනය සංවිධාන කරන තරගවල තරග කොමසාරිස්වරයකු ලෙස ද කටයුතු කරමින් සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top