Sep 30, 2019

දැන් මට කණ්ඩායම තෝරන එක හිසරදයක් - තේරීම් කමිටු සභාපති Featured

“දැන් මට කණ්ඩායම තෝරන එක හිසරදයක්. හොඳම 20කින් 11ක් තෝරන්න වෙලා තියෙන්නේ. ඉස්සර 8ක් නමයක් හැමදාම කොහොමත් සෙල්ලම් කළා. දැන් ස්ථානය රැකගෙන ක්‍රීඩා කරන එක කාට කාටත් විශාල අභියෝගයක්”

පාකිස්තාන සංචාරයට සහභාගී නොවී කොළඹ නැවැතුණ පළපුරුදු ක්‍රීඩකයන්ට අලුත් තරුණ ක්‍රීඩකයන් දක්වන දක්ෂතා මත, තම තමන්ගේ ස්ථාන පිළිබඳ ඉදිරියේදී අවධානමක් මතුවිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා
අනතුරු අඟවයි.

“ක්‍රීඩකයෙක් තේරුම්ගත යුතුයි තමන්ගේ තැන තවත් කෙනෙකුට දෙනකොට අවධානමක් තියෙන බව. පාකිස්තානයට පැමිණි යොවුන් ක්‍රීඩකයන් බලාපොරොත්තු වූ පරිදි හොඳ දස්කම් අතරට පිවිසිනහොත් ඔවුන් එක් වරම කණ්ඩායමෙන් ඉවත් කරන්න බෑ. එතකොට සංචාරයට ආපු නැති ක්‍රීඩකයන්ගේ තැන් දක්ෂතා දක්වන අලුත් ක්‍රීඩකයන්ට දෙන්න වෙනවා. හැමෝටම නොවෙයි. ක්‍රීඩකයන් කිහිපදෙනකුගේ ස්ථාන සම්බන්ධව අලුත් අභියෝග මතු වෙන්න පුලුවන්. ඒකයි මා කිව්වේ තමන්ගේ තැන නිකම්ම දීලා කොළඹට වෙලා ඉන්න තීරණය කළ එක අවධානම් වැඩක් බව” තේරීම් කමිටු සභාපතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි එක්දින තරගය පැවැත්වීමට පෙර කරච්චි නුවරදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙල් මහතා මේ බව පැවැසීය.

“සංචාරයට එන්න කලින් මා පාකිස්තානයට නොපැමිණී ක්‍රීඩකයන්ට කතා කළා. ඔවුන්ට පැහැදිලි කළා ඔවුන්ගේ තීරණයේ අවධානම පිළිබඳ. අපට හොඳ තරුණ පෙළක් දැන් ඉන්නවා. මේක සුබවාදීව බැලිය යුතුයි. කොහොම වුණත් දැන් මට කණ්ඩායම තෝරන එක හිසරදයක්. හොඳම 20කින් 11ක් තෝරන්න වෙලා තියෙන්නේ. ඉස්සර 8ක් නමයක් හැමදාම කොහොමත් සෙල්ලම් කළා. දැන් ස්ථානය රැකගෙන ක්‍රීඩා කරන එක කාට කාටත් විශාල අභියෝගයක්” මෙල් මහතා පැවැසීය.

සංචාරයට සහභාගී නොවීමට ක්‍රීඩකයන් තීරණය කළේ තම තමන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ඉල්ලීම අනුව බව මෙල් මහතා පැහැදිලි කළේය. “මටත් මගේ බිරිය මේ සංචාරයට යන්න එපා කිව්වා. නමුත් මා කණ්ඩායම නම් කරලා කොළඹට වෙලා ඉන්න එක හොඳ මදි. මා එහෙම කළා නම් ඇතැම් අය එක එක කතා ගොතයි”

“පළපුරුදු ක්‍රීඩකයන් දස දෙනෙක් පැමිණියේ නෑ කියන කතාවට මා එකඟ නෑ. මාලිංග එක්දින පිටියේ දැන් නෑ. චන්දිමාල් හා තිසර අවසන් එක්දින තරගාවලියට ක්‍රීඩා කළේ නෑ. කුසල්ගේ කකුල කැඩිලා එයාට කොහොමත් එන්න බෑ. ඒ නිසා ක්‍රීඩකයන් 5ක වගේ
අඩුවක් ඇතිවුණා. ඒ සඳහා ආදේශ කරන්න හොඳ දක්ෂ යොවුන් ක්‍රීඩකයන් හිටියා. ඒ අයට දැන් හොඳ අවස්ථාවක් තියෙනවා දස්කම් අතරට එන්න” මෙල් මහතා පැවැසීය.

සංචාරයට පැමිණීමට පෙර කරච්චි නුවරදී ලබාදෙන ආරක්ෂාව පිළිබඳ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පොරොන්දුවූ ආරක්ෂාව ඒ පරිදිම ලබාදීම පිළිබඳ අසන්තා ද මෙල් මහතා සිය ස්තූතිය පළ කළේය. මග දෙපස යාර 20න් 20ට පමණ පාකිස්තාන කොමාන්ඩෝ බළකායේ සෙබලුන් ස්නයිපර් හා නවීන පන්නයේ ආයුධවලින් සන්නද්ධව රැදී සිටින අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නවාතැන්ගෙන සිටින හෝටලය අවට ආරක්ෂක පවුරක් ඉදිකොට ඇත. ඊයේ පුහුණුවීම් සඳහා කරච්චි ජාතික ක්‍රීඩාංගණයට ශ්‍රී ලංකා පිල පැමිණෙද්දී බස්රථය ඉදිරියෙන් හා පසුපසින් වෙඩි නොවදින මොටර් රථ 20ක් ද සමග ආරක්ෂක රථ පෙළක් ගමන් ගත් අයුරු දක්නට ලැබිණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top