Oct 21, 2019

පාකිස්තානු ටෙස්ට් 2ට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහභාගිවීම අනිවාර්ය කරයි Featured

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක කරච්චි හා රාවල්පින්ඩි යන නගරවල ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු සූදානම්  කර තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහභාගී විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනටමත් සියලු ක්‍රීඩකයන්ට දැනුම්දී ඇතැයි ද වාර්තා වේ.

යම් හෙයකින් පාකිස්තාන සංචාරයට එක්වීමට අකමැති ක්‍රීඩකයෙක් වොතොත් ඔහුට එරෙහි පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානමින් සිටින බවද ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පාකිස්තානයේදී නිසි ආරක්ෂාවක් යටතේ ක්‍රීඩා කිරීමට වාතාවරණය සැකසී ඇති බැවින් අයි. සී. සී ටෙස්ට් ශූරතාවලියේ තරග දෙක පාකිස්තානයේදී පැවැත්වීමට පැමිණෙන ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් ශ්‍රී ලංකාවට ආරාධනා කර තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් අස්සන්කොට ඇති හෙයින් අන්තර්ජාතික ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීම සඳහා සූදානම්වීම ක්‍රීඩකයන්ට සිදුවේ. 


එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරන අතරතුර වෙනත් රටවල පැවත්වෙන ප්‍රීමියර් ලීග් විස්සයි 20 තරගවලට යෑම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිඛිත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. 

එම ‘විරෝධතා නොමැති බවට වූ සහතිකය’ ලබා නොගෙන කිසිදු ක්‍රීඩකයකුට වෙනත් විදෙස් තරගාවලි සඳහා යෑමට නොහැකි බැවින් පාකිස්තාන සංචාරයට නොයන ක්‍රීඩකයන්ට එම සහතිකය ලබා නොදීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා මාධ්‍යට පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ කැමැත්ත අනුව එම සංචාරය පාකිස්තානයේදී පැවැත්වීමට සහය දෙන බවයි.

පාකිස්තානයේ කරච්චි හා ලාහෝර් හීදී නිමාව දුටු එක්දින හා විස්සයි 20 තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් සහභාගීත්වය පිළිබඳ අදහස් විමසා ඒ අනුව සංචිතය නිර්මාණය කළද මෙවර එවැනි අදහස් විමසීමක් නොකරනු ඇතැයි පැවැසේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම්කරන ලද සංචිතයට ක්‍රීඩා ඇමැතිවරයාගේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව සංචාරයට සූදානම්වීම ක්‍රීඩකයන් විසින් කළ යුතුවේ.

ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරග දෙක පාකිස්තානයේ පැවැත්වීමට අපොහොසත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වන්නේ නම් ඒ සඳහා යන සියලු වියදම් රටවල් දෙක විසින් දැරිය යුතු බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා ඇත. 

මේ තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට පැවැරී ඇති හෙයින් කරච්චි හා ලාහෝර් නුවරදී පවත්වන්නේනම් ඒ සියලු වියදම් පාකිස්තාන ක්‍රිකට් ආයතනය දැරිය යුතු වේ. 

මීට සතියකට පෙර පෙර ඩුබායි පැවැති අයි. සී. සී සමුලු රැස්වීමේදී පාකිස්තාන ක්‍රිකට් සභාපති ඒෂාන් මානි හා ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන් ශ්‍රී ලංකා නිලධාරීන් සමග මේ ටෙස්ට් තරගාවලිය සම්බන්ධව දීර්ඝ සාකච්ඡා පවත්වා ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top