Oct 24, 2019

කදීර්ගේ පුතා කදීර්ගේ අඩිපාරේ Featured

පාකිස්තානයේ බිහිවූ විශිෂ්ටතම දඟපන්දු යවන්නා ලෙස සැලැකෙන අබ්දුල් කාදීර්ගේ පුත්‍රයකු වන උස්මාන් කදීර් පාකිස්තාන පිලේ එළැඹෙන ඔස්ට්‍රේලියානු සංචාරයට නම් කළ සංචිතයට ඇතුළත්ව සිටී.

තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලියට නම් කළ පාකිස්තාන කණ්ඩායමට උස්මාන් කදීර් ඇතුළත් කිරීමට එරට තේරීම් කමිටුව ඊයේ තීරණය කර තිබේ.

මේ තරගාවලිය නොවැම්බර් මස මුල් භාගයේ දී පැවැත්වේ.

පාකිස්තානයේ උපත ලබා පසුව ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතුවල නිරතවෙමින් එරට පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩාවට එක්වූ 26 හැවිරිදි පාදඟ පන්දු යවන කදීර්ගේ පුත් උස්මාන් ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් පිල නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවිය.

සර්ෆ්‍රාස් අහමඩ් නායකත්වයෙන් ඉවත් කිරීමෙන් පසුව නව නායක බාබර් අසාම් යටතේ පාකිස්තාන පිල තරග වදින පළමු අවස්ථාව මෙය වේ.

මීට පෙර අවසන් වරට 2016 දී කණ්ඩායම නියෝජනය කළ වමතින් වේග පන්දු යවන මොහොමඩ් ඉර්ෆාන් ද කණ්ඩායමට ඇතුළත් වන අතර උස්මාන් කදීර්ට අමතරව තවත් නවක ක්‍රීඩකයන් දෙදෙනකු කණ්ඩායමට ඇතුළත් වෙති. වේගපන්දු යවන ක්‍රීඩක 19 හැවිරිදි මූසා ඛාන් සහ 24 හැවිරිදි පිතිකරු කුෂ්දිල් ෂා ඒ අතර වෙති.

පාකිස්තාන විස්සයි 20 කණ්ඩායම මෙසේය.

බාබර් අසාම් (නායක), අසීෆ් අලි, ෆකාර් සමාන්, හාරිස් සොහේල්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, ඉමාම් උල් හක්, කුෂ්දිල් ෂා, මොහොමඩ් ආමිර්, මොහොමඩ් හස්නේන්, මොහොමඩ් ඉර්ෆාන්, මොහොමඩ් රිස්වාන්, මූසා ඛාන්, ශදාබ් ඛාන්, උස්මාන් කදීර්, වහාබ් රියාස්.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top