Oct 25, 2019

පාසල් ක්‍රිකට් සංගමය ද විගණනයක් ඉල්ලයි Featured

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරනු ලබන 2020 අන්තර් පාසල් 19න් පහළ තරගාවලිය ආරම්භ කොට මේ වන විට මාස 2ක් පමණ ගත වී ඇතත් පාසල් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහය ලබාදෙන ක්‍රිකට් පන්දු ලබා දී නොමැති බව වාර්තාවේ.
මේ හේතුවෙන් තුන්වැනි වාරය තරග සඳහා පාසල් විවිධ පන්දු යොදා ගනිමින් සිටින අතර පාසල් ක්‍රිකට් බලධාරීන්ට ද මේ ගැන උනන්දුවක් නොමැති බව කියැවෙයි.

පාසල් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධායක කමිටු නිලධාරියෙකු ලෙස කටයුතු කරනු ලබයි. කඹ ඇදීමේ තරගයක යෙදී සිටින පාසල් ක්‍රිකට් බලධාරීන් වසර 2ක් මුළුල්ලේ සිංගර් ත්‍යාග ප‍්‍රදානෝත්සවය ද පවත්වා නොමැත.

පාසල් සංගම් ලේකම්වරයා මේ වනවිට ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම සමග බංගලාදේශ සංචාරයට එක්ව සිටින අතර භාණ්ඩාගාරිකවරයා එළඹෙන 19න් පහළ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට ද සභාපතිවරයා ලබන වසර මුල දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලියට ද එක් වීමට සැලසුම් කර තිබේ.

අනුග‍්‍රාහකයන්ගෙන් ලැබුණු මුදල් ලක්ෂ ගණනක් මේ වන විට සංගමයට දැමුණු නඩු සඳහා නීතිඥ ගාස්තු වශයෙන් ගෙවා ඇතැයි ද වාර්තාවේ.

මේ අතර පාසල් කිහිපයක නිලධාරීන් පවසා සිටියේ පාසල් ක්‍රිකට් සංගමය වියදම් සම්බන්ධව විගණනයක් කරන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected]nkamirror.com දුරකථන - +94 114 546 362

Top