Dec 19, 2019

'ඔලිම්පික් ක්‍රීඩා ප්‍රකාශනය' වෙන්දේසියේ Featured

ඔලිම්පික් ක්‍රීඩා ප්‍රකාශනය ලෙස හැඳින්වෙන, 1892 දී පියරේ ඩි කූබර්ටින් නම් ප්‍රංශ වංශාධිපතියෙකු විසින් කළ කථනයක මුල් පිටපත වෙන්දේසි වීමට නියමිතය.
නිව්යෝර්ක් හි පැවැත්වෙන වෙන්දේසියේදී එය ඩොලර් 700,000ක් - මිලියනයක් අතර මුදලකට වෙන්දේසි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රංශ මළල ක්‍රීඩා සංගමයේ පස්වැනි සංවත්සරය නිමිත්තෙන් සෝර්බෝන් විශ්ව විද්‍යාලයේදී සිදුකළ මෙම කථනයෙන්, පුරාණ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පුනර්ජීවනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ඔහුගේ දැක්ම ඉදිරිපත් කර තිබුණි.

ප්‍රංශ බසින් රචිත පිටු 14 කින් යුත් මෙම කථනය මගින් ඩි කබර්ටින් මහතා පවසා තිබුණේ මලල ක්‍රීඩා  තවදුරටත් හමුදා පුහුණුවට සීමා නොකළ යුතු බවත්,  එය පුද්ගලයන්ට හා සමාජයට විශාල වශයෙන් ප්‍රයෝජන ගත හැකි බවයි.

වසර 2009 දී කෝපන්හේගන් හිදී පැවති ඔලිම්පික් සම්මේලනයේදී මෙම කථනයේ උසස් තත්ත්වයේ පිටපතක් ප්‍රදර්ශනය කර තිබුණද, ඔහුගේ පෑනින් ලියවුනු මෙම පිටපත් මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කර නොමැත.

පියරේ ඩි කූබර්ටින්  විසින් 1894 දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සම-ආරම්භ කළ අතර 1896 දී පළමු නවීන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇතන්ස්හිදී පැවැත්විණි.
 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top