Dec 26, 2019

ස්ලින්ගා දශකයේ එක්දින කණ්ඩායමට  

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් නම්කළ දශකයේ එක්දින සංචිතයට ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ඇතුළත් කර තිබේ.

2010 වසරේ සිට මේ දක්වා ක්‍රීඩකයින් දක්වා ඇති දක්ෂතා සැලකිල්ලට ගනිමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් අදාළ කණ්ඩායම නම්කර ඇති අතර එහිදී ශ්‍රී ලංකාවෙන් තේරීපත්වූ එකම ක්‍රීඩකයා බවට ලසිත් මාලිංග පත්වී ඇත.

දශකයේ එක්දින කණ්ඩායමේ නායකත්වය සහ කඩුලූ රැකීම ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනිට හිමිව ඇති අතර දෝනිට අමතරව තවත් ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනකු වන විරාත් කෝලි සහ රෝහිත් ෂර්මාද දශකයේ එක්දින කණ්ඩායමට ඇතුළත්ව තිබේ. මීට අමතරව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් නම් කළ දශකයේ එක්දින කණ්ඩායම සඳහා හසීම් අම්ලා, ඒබී ඩිවිලියර්ස්, ෂකීබ් අල් හසන් ජෝස් බට්ලර්, රෂීඞ් ඛාන්, මිචෙල් ස්ටාර්ක් සහ ට්‍රෙන්ට් බෝල්ට්ද ඇතුළත්ව සිටියි.

 මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් නම්කළ දශකයේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ඉන්දියාවේ විරාත් කෝලිට හිමිව ඇති අතර එම කණ්ඩායමේ ස්ථානයක් හිමිවූ එකම ඉන්දියානු ක්‍රීඩකයා බවටද කෝලි පත්ව සිටී. ඒ අනුව දශකයේ ටෙස්ට් කණ්ඩායම සඳහා කෝලිට අමතරව ඬේවිඞ් වෝනර්, ඇලෙස්ටෙයාර් කුක්, කේන් විලියම්සන්, ස්ටීව් ස්මිත්, ඒබී ඩිවිලියස්, බෙන් ස්ටොක්ස්, ඬේල් ස්ටේන්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, නේතන් ලයන් සහ ජේම්ස් ඇන්ඩර්සන්ද ඇතුළත් වී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top