කායවර්ධන, නෙට්බෝල්, මල්ලවපොර, ජිම්නාස්ටික්, හොකී, පිහිනුම්, පාපැදි, දුනුවිදීම හා බොක්සිං ඇතුලු ක්‍රීඩා සංගම් කිහිපයකට අදාළ පැමිණිලි ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා මණ්ඩලයට යොමුකර තිබූ අතර ඒ සඳහා විධිමත් පරීක්ෂණ පවත්වා නිගමණ සහිත වාර්තා අභියාචනා කමිටු විසින් ඇමැතිවරයා වෙත යොමුකොට තිබේ.
අභියාචනා කමිටු වෙත ඉදිරිපත්වන චෝදනා පත්‍රයට අදාළ සියලු ලිපි ලේඛණ පරීක්ෂා කෙරෙන අතර පසුව ඒ සම්බන්ධව ඇති සාක්ෂි විමසීමක් සිදු කෙරේ. එම සියලු කරුණු සැලකිල්ලට ගෙන අභියාචනා කමිටුවේ නිරීක්ෂණ, නිගමණ හා යෝජනා ඇමැතිවරයා වෙත ඉදිරිපත් කෙරේ. එහිදී යම් සංගමයක් විසින් දැනට ක්‍රියාත්මක 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත උල්ලංඝණය කර ඇත්ද? එය කෙසේ සිදු වූයේද යන්න ඇමැතිවරයා වෙත පැහැදිලිව දැනුම් දේ. ඒ අනුව අදාළ ක්‍රීඩා සංගමය හෝ එම සංගමයේ නිලධාරියකු සිදුකළ ඇති වරද ක්‍රීඩා ඇමැතිවරයාට පහසුවෙන් හඳුනා දඬුවම් කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.
ඇතැම් අභියාචනා කමිටු වාර්තා හිටපු ඇමැතිවරයා විසින් අනුමතකර තිබුණ ද නිලධාරීන් මගින් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු නොකළ බවට ද චෝදනාවක් පවතී.
එයට ප්‍රධානතම හේතුවී ඇත්තේ ඇතැම් ක්‍රීඩා සංගම්වල ආරවුල් නිලධාරීන්ගේ වරදින් සිදුව තිබීමය. නිලධාරීන්ගේ වරදින් ක්‍රීඩා සංගම්වල අර්බුද ඇතිවූ ආකාරය අභියාචනා කමිටුව හඳුනාගත් අවස්ථාවලදී එම වැරදි කළ නිලධාරීන්ගේ නම් ගම් සහිතව අභියාචනා කමිටු වාර්තාවේ සඳහන් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් දඬුවම් පැමිණවීම ප්‍රමාදවීමට හේතුවක් බවද පැවැසේ.