Jan 02, 2020

ICC ය අවුල්කරමින් ක්‍රීඩා අමාත්‍යංශය ලිපියක් යවලා  Featured

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෙවත් අයි.සී.සී යේ දූෂණ චෝදනා එල්ල වී ඇති නුවන් සොයිසා, අවිශ්ක ගුණවර්ධන, දිල්හාර ලොකුහෙට්ටිගේ සහ සනත් ජයසූරිය වෙත ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති පිළිතුරු ලිපිය සම්බන්ධයෙන් අයි.සී.සී ය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.
අයි.සී.සී ය විසින් තමන්ට එල්ල කරන ලද චෝදනා, විදේශ ආයතනයක් විසින් රටේ ස්වෛරී අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙසින් දක්වමින් ඒ සඳහා සාධාරණයක් ඉල්ලා චූදිතයන් සිව් දෙනා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
 
එහි පිටපතක් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ද යවා තිබේ. 
 
එම ලිපියට පිළිතුරක් ලෙසින් අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා විසින් 2019.12.19 දාතමින් අදාළ සිව්දෙනා වෙත ලිපියක් යොමු කරමින්, අධ්‍යාපන, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යවරයාගේ උපදෙස් ලබාගනිමින් මෙවැනි වාතාවරණයක් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි සොයාබලන බව සඳහන් කර තිබේ. 
 
ඒ පිළිබඳ සොයාබලා මොවුන් සිව්දෙනාගේ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලබාදීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව ද එම ලිපියෙන් පවසා තිබේ. එම කරුණුවලට අමතරව මෙම සිව්දෙනා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් දැක්වූ දායකත්වය අගය කරන බවද ලේකම්වරයා සිය ලිපියේ සඳහන් කර ඇත.
 
තමන් වෙත නිකුත් වූ මෙම ලිපිය, අදාළ චූදිතයන් සිය නීතිඥවරු මාර්ගයෙන් අයි.සී.සී ය වෙත යොමුකරමින් තමන්ට විරුද්ධව ඇති චෝදනා විභාගයට ගැනීමේ කටයුත්ත නියමයක් නොමැතිව අත්හිටුවන මෙන් ඉල්ලා තිබේ.
 
මෙයට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකාවේ නීතියට හෝ වෙනත් අභ්‍යන්තර විමර්ශන ක්‍රමවේදයකට යටත්ව කටයුතු කිරීමට අයි.සී.සී ය බැඳී නැති බව අයි.සී.සී යේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක සැලේ ක්ලාර්ක් විසින් චූදිතයන්ගේ නීතිඥවරු වෙත ලිඛිතව දන්වනු ලැබ ඇත. 
 
අමාත්‍යංශ ලේකම්වරයා රජයේ මතය විමසීමට කටයුතු කිරීම හා එහි ඉදිරි ප්‍රතිඵල මොනවාද යන්න සහමුලින්ම අපැහැදිලි තත්ත්වයක් බවත්, ඒ කෙසේවෙතත් අයි.සී.සි ය පැහැදිලිවම සිය ස්ථාවරයේ රැඳී සිටින බවත් සැලේ ක්ලාර්ක් විසින් අවධාරණය කර තිබේ.
 
මෙම චූදිතයන් සම්බන්ධයෙන් අයි.සී.සී ය ඉතාම සාධාරණව කටයුතු කර ඇති නමුත් අදාළ නොවන වෙනත් පාර්ශ්වයන්ගේ අතපෙවීම නිසා මෙම විමර්ශනයන්ට සිදුවන බාධාවන් ඉවසීමට කිසිසේත් සූදානම් නැති බවත් අයි.සී.සී. ජ්‍යෙෂ්ඨ නීති උපදේශකවරයා සිය ලිඛිත ප්‍රතිචාරයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
(අරුණ)
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top