Jan 03, 2020

අලස ක්‍රිකට් සිලෙක්ටර්ලාට ඩලස් දෙහි කපයි ! Featured

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් යුත් විස්සයි - 20 තරගාවලියට එක්කළ ශ්‍රී ලංකා සංචිතය දැඩි අන්දෝලනයට තුඩු දී ඇති බව වාර්තා වේ.

ඒ පසුගිය සමයේ දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස්ට නැවත වරක් කණ්ඩායමේ අවස්තාව ලබාදීම නිසාය.

එවැනි පසුබිමක ඉන්දීය සංචාරයට එක් වන ශ්‍රී ලංකා විස්සයි - 20 සංචිතයට කල් තියා සිය අනුමැතිය ලබා ගැනීමට තමන් වෙත යොමු නොකිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ක්‍රිකට් තේරීම් කමිටුවට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇති බවද පැවසේ.

දින 14කට උඩදි අනුමැතිය ගන්න ඕනි

ක්‍රීඩා පනතට අනුව යම් සංචාරයක් සදහා තෝරා ගන්නා ලද කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යාමට දින 14කට පෙර ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය සදහා යොමු කළ යුතුව තිබේ.

කෙසේ වෙතත් මෙවර ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා විස්සයි - 20 සංචිතය ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට යොමුකර ඇත්තේ එම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට දින 3කට පෙර බවද වාර්තා වේ.

"තේරීම් කමිටුවට දැඩි ලෙස අවවාද කළා"

මින් ඉදිරියට ක්‍රීඩා පනත උල්ලංගණය වන අයුරින් කටයුතු නොකරන ලෙස තමන් ක්‍රිකට් තේරීම් කමිටුවට දැඩි ලෙස අවවාද කළ බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා තිබේ.

එලෙස කඩිමුඩියේ යම් සංචිතයක් තමන් වෙත ඉදිරිපත් කළ පසු අදාළ ක්‍රීඩකයින් තෝරාගත් ආකාරය සම්බන්ධයෙන් හෝ සංචිතයේ වෙනසක් සිදු කිරීමටද කාලවේලාව නොමැති බව ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

පන්දුවාර විස්ස තරග 3කට සහභාගි වීම සදහා ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම ඊයේ (02) අලූයම ඉන්දියාව බලා පිටත්ව ගියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top