Jan 10, 2020

තෝක්යෝ ඔලිම්පික් උළෙලට කාඩ්බෝඩ් ඇඳන්!

වසර 2020 තෝක්යෝ ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ලබාදෙන ඇඳන් වල රාමු සකසා ඇත්තේ ප්‍රතිචක්‍රීකරණය කළ කාඩ්බෝඩ් වලින් බව වාර්තා වේ.
පොලිඑතිලීන් ද්‍රව්‍ය වලින් සාදා ඇති මෙහි මෙට්ට, ඉහත ක්‍රීඩා උළෙලන් අවසන් වූ පසුව ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා නැවත ප්‍රතිචක්‍රීකරණය වීමට නියමිතය.
 
මීටර් 2.10ක් දිගැති මෙම ඇඳකට කිලෝ 200ක් දක්වා බරක් දැරිය හැකි වේ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ඇඳන් 18,000 ක් ද පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ඇඳන් 8,000 ක් ද අවශ්‍ය වේ.

ප්‍රතිචක්‍රීකරණය යනු වසර 2020 තෝක්යෝ ඔලිම්පික් උළෙලේ සූදානම් කටයුතු වල කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර, මෙහි පදක්කම් සම්පුර්ණයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කරන ලද පාරිභෝගික උපාංග වලින් සාදා ඇත. 
 
මීට අමතරව, ඔලිම්පික් පන්දම ඇලුමිනියම් අපද්‍රව්‍ය වලින් ද, සියලුම වේදිකා ප්‍රතිචක්‍රීකරණය කරන ලද ගෘහස්ථ හා සාගර ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් ද නිමවනු ඇත. මෙම ක්‍රීඩා උළෙලන් සඳහා අවශ්‍ය වන විදුලිය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට කටයුතු යොදා තිබේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top