Jan 14, 2020

හතුරුගේ ගිවිසුම අහෝසි කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කරයි

චන්දික හතුරුසිංහ මහතා ජාතික ක්‍රිකට් පුහුණුකරු තනතුරට බඳවා ගත් ගිවිසුම අහෝසි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ වන විටත් සිය තනතුරෙන් නෙරපා ඇති හතුරුසිංහ මහතා, නියමිත කාලයට පෙර තමන් තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 ක වන්දියක් ඉල්ලා සිටිමින් ක්‍රීඩා පිළිබඳ අන්තර්ජාතික බේරුම්කාර අධිකරණයට පැමිණිලි කර තිබේ.

හතුරුසිංහ මහතා ගේ ඉහත ගිවිසුම අහෝසි කිරීමට පසුගිය සිකුරාදා රැස්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් හි විධායක කමිටුව තීරණය කළ බව එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසූ ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවිය වෙත පවසා ඇත.

පසුගිය වසර පහ තුළදී ගිවිසුම් කාලය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව සමඟ සේවා කාලය අවසන් කළ තෙවැනි ප්‍රධාන පුහුණුකරු හතුරසිංහ ය. මර්වන් අතපත්තු සහ ග්‍රැහැම් ෆෝඩ් යන දෙදෙනාම පිළිවෙලින් 2015 සහ 2017 දී එම ධූරයෙන් ඉවත් විය.

වසර 2012 මුලදී මණ්ඩලය විසින් ජෙෆ් මාෂ් ගේ ගිවිසුමද නියමිත කාලයට පෙරාතුව අවසන් කිරීම හේතුවෙන් ඔහුට ද සැලකිය යුතු මුදලක් ගෙවීමට 2013දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය.

(ක්‍රික්ඉන්ෆො ඇසුරෙනි)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top