Feb 04, 2017

මැතිව්ස්ට බංග්ලාදේශ සංචාරයේ නායකත්වය නෑ !

ඉදිරි බංග්ලාදේශ - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය නව නායකයන් යටතේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීන්දු කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
මෙම මස අවසානයට පෙර නව ක්‍රිකට් නායකයින් නම් කිරීමට නියමිතය.
 
මේ තීන්දුවට එළඹ ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ව පෙබරවාරි මාසය තුළ ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය තීන්දු කිරීම නිසාය.
 
අදාළ තීන්දුවට එළඹ ඇත්තේ ක්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන් ගණනාවකගෙන් ක්‍රිකට් තේරීම් කමිටුවටත් ශ්‍රී ලංකා ක්‍රිකට්හටත් දිගින් දිගටම ලැබුණු පැමිණිලි රැසක් සමාලෝචනයෙන් පසුව බවද පැවසේ.
 
මෙලෙස ඇතැම් පැමිණිලි ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පවසා ඇත්තේ මැතිව්ස් යටතේ තමන්ට විදේශීය ක්‍රිකට් සංචාරවල යෙදිය නොහැකි බව යැයි වැඩිදුරටත් වාර්තා වේ.
 
ඒ අනුව නායකත්වය වෙනස් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුවත් ක්‍රිකට් ආයතනයත් තීන්දු කර ඇත්තේ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවය. 
 
ඉදිරියේදී ටෙස්ට් ක්‍රිකට් සඳහා එක් නායකයකු ද සීමිත පන්දුවාර තරග සඳහා තවත් නායකයකුද නම් කෙරෙනු ඇතැයි වාර්තා වේ.
 
නව නායක තනතුරු සඳහා නම් 4ක් මේවන විට යෝජනා වී ඇති බවද පැවසේ.
 
දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, උපුල් තරංග සහ ලසිත් මාලිංග එම යෝජිත ක්‍රීඩකයන් වෙති.
 
එයින් වඩාත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකුට ටෙස්ට් සහ සීමිත ඕවර තරග නායකත්වය පිරිනැමීම සිදු කිරීමට නියමිතය.
 
වසර 2013 සිට වසර තුනකට වැඩි කාලයක් ක්‍රිකට් නායකත්වය දැරූ ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩාකරනු ඇත.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top