Feb 27, 2020

සූරියවැව ප්‍රහාරය ගැන වහාම පරීක්ෂණයක් කරන්නැයි ඇමතිගෙන් නියෝගයක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (26) සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රයට පැමිණි ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසකට ප්‍රවේශපත් කවුළු අසල දී කිසියම් ප්‍රහාරයකට ලක්වීමට සිදුව තිබේ.

මෙම කණගාටුදායක තත්ත්වය කිසිසේත් අනුමත නොකරන බවත්, ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා එය දැඩි ව හෙළා දකින බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා ඇති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපයට ගරු කරන ජනතාවක් සිටින රටක මෙවැනි තත්ත්වයක් ඇතිවීම ඉතා කණගාටුදායක බව ද, මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා වහාම පරීක්ෂණයක් කර ඒ පිළිබඳ තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට තමා විසින් නියෝග කළ බව ද, අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.  

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top