Feb 08, 2017

‘චන්දි ට විවේකයක් අවශ්‍යයි’

ශ්‍රී ලංකා පිලේ උපනායක දිනේෂ් චන්දිමාල් හට ඔහුගේ සුපුරුදු ක්‍රීඩා විලාසය යළි සොයාගැනීමට ක්‍රිකට් ක්‍රීඩාවෙන් මද විරාමයක් හා විවේකයක් අවශ්‍ය බව මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග නායකයා ලෙස කටයුතු කරන උපුල් තරංග පවසයි.

දකුණු අප්‍රිකානු සංචාරයේදී දිගින් දිගටම ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ චන්දිමාල් සිවුවැනි එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරන කණ්ඩායමෙන් ඉවත් කර තිබුණි.

“ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීම ඉතා අසීරු තීරණයක් වුණා. ඒත් අපි ඔහු එක්ක කතාබස් කළා. විවේක ගැනීමට ඔහුත් එකඟ වුණා. ඔහුට දින කිහිපයක් ක්‍රිකට් වලින් විරාමයක් හා විවේකයක් අවශ්‍යයි. අපි හැමෝම දන්නවා ඔහු හොඳ ක්‍රිකට් ක්‍රීඩයෙක් කියලා. ඊළඟ සංචාරයේදී ඔහුට යළිත් එන්න පුළුවන්,” යැයි තරංග පැවසූ බව ක්‍රික්ඉන්ෆො වෙබ් අඩවියේ දැක්වේ.

දකුණු අප්‍රිකානු සංචාරයේදී තරග ආකෘති සියල්ලේම ඉනිම 12ක් ක්‍රීඩා කරමින් චන්දිමාල් ට ලබාගත හැකි වූයේ ලකුණු 180ක් පමණි.  ඉන් ඉනිම 6කදීම ඔහු දැවීගියේ ලකුණු 09ටත් අඩුවෙනි. ඔහු මෙම සංචාරයේදී රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය 36ක් වන අතර, ඒ ඩර්බන් හි පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top