May 13, 2020

Covid-19 නිසා තවත් ICC ඉසව් 2ක් කල්යයි

Covid-19 වසංගතය හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකක් සඳහා සුදුසුකම් ලැබීමේ  ඉසව් දෙකක් කල් දමන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (12) නිවේදනය කර තිබේ.

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ යුරෝපා තරගාවලියේ දෙවන කාණ්ඩය සහ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය මේ ආකාරයෙන් කල් දමා ඇත.

අයිසීසී කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟය ජූලි 3 සිට 19 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, 2021 වසරේදී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට කණ්ඩායම් තුනක් සුදුසුකම් ලැබීමට නියමිතය.

2022 වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ යුරෝපා කලාපීය දෙවන කාණ්ඩය ජූලි මස 24 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අතර එය ජූලි මස 30 වනදා දක්වා ඩෙන්මාර්කයේ පැවැත්වීමට නියමිතව තිබිනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්තීර්ණ අවිනිශ්චිත සැලසුම් ක්‍රියාවලියේ කොටසක් ලෙස ගත් මෙම තීරණය සාමාජිකයන් සහ අදාළ රජයේ හා මහජන සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගත් බව එම කවුන්සිලය නිවේදනය කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් වන මෙම තරගාවලි වේදිකා ගත කළ හැකි වන්නේ කවදාදැයි හඳුනා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එම තරගාවලි සඳහා සහභාගී වන සියලුම සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ICC සිදුවීම් අංශ ප්‍රධානී ක්‍රිස් ටෙට්ලි මහතා අදහස් දක්වා තිබුණේ මෙසේය :  

“මේ වෙද්දී ලොව පුරා තියෙන තත්ත්වය එක්ක සියළු සංචාර සඳහා සීමාවන් පනවා තිබෙනවා. ගෝලීය සෞඛ්‍ය තත්ත්වය එක්ක අදාල රජයන් හා බලධාරීන් එක්ක සාකච්ඡා කරලා මේ තරගාවලි කල් දැමීමට අපි තීරණය කළා. මේ තීරණය කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සහ 2022 වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ යුරෝපා තරගාවලිය යන දෙකටම බලපා තිබෙනවා...මෙම දුෂ්කර කාලපරිච්ඡේදය තුළ අපගේ ප්‍රමුඛතාවය වන්නේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, නිලධාරීන්, ප්‍රේක්ෂකයන් සහ සමස්ත ක්‍රිකට් ප්‍රජාවේම යහපැවැත්ම ආරක්ෂා කිරීමයි. සිදුවීම් කල් දැමීම සහ ජාත්‍යන්තර ක්‍රිකට් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපි හොඳින් දැනුවත්ව, වගකිවයුතු තීරණ ගන්න අවශ්‍යයි.”

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top