May 21, 2020

හෝමාගම ක්‍රිකට් පිටිය ගැන කාවවත් නොමග යැව්වෙ නෑ - බන්දුල

හෝමාගම හි යෝජිත ක්‍රිකට් පිටිය සම්බන්ධව තමා කළ ප්‍රකාශය මගින් කිසිවෙකුවත් නොමග නොයැවූ බව කැබිනට් මණ්ඩලයේ සම ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද (21) පවසා තිබේ.

අද පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේද මෙම ව්‍යාපෘතිය රජය අරමුදල් වලින් සිදුවන්නක් නොවන බවත්, එය ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය විසින් මෙහෙයවනු ඇති බවත්ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටියදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය පසුව අත්හිටවූ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ක්‍රීඩාංගනය ඉදිකිරීමේ කටයුතු වහාම ආරම්භ නොවන බවයි.

වැරදි තොරතුරක්

මෙම ව්‍යාපෘතියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අරමුදල් සපයන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබුණි. කෙසේවෙතත්, ICC ය එලෙස මුදල් ප්‍රදානයක් ලබාදෙන බවට කලින් ප්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේවෙතත්, අමාත්‍ය බන්දුල මහතා ගේ ප්‍රකාශයක් පදනම් කරගෙන තමා සිදුකළ ප්‍රකාශයට කණගාටුව පළ කර සිටින බව ගම්මන්පිල මහතා පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණි.

Bandula1 670px 20 05 21

ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රීඩාංගනය හෝමාගම දියගම ඉදිකරන බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉරිදා පස්වරුවේදී ප්‍රකාශ කිරීමත් සමග එයට මාධ්‍ය ඔස්සේ දැවැන්ත සමාජ විරෝධයක් එල්ලවිය.

හිටපු ක්‍රිකට් නායකයන් වන රොෂාන් මහනාම, අර්ජුන රණතුංග සහ මහේල ජයවර්ධන ද මේ සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පළ කර තිබුණු අතර, අගමැති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුතුන් වන නාමල් සහ යොෂිත ද මෙම තීරණය විවේචනය කර තිබුණි.

අගමැති හමුවක්

මේ අතර, යෝජිත හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන රොෂාන් මහනාම, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ සනත් ජයසූරිය අද දිනයේදී හමුවීමට නියමිත බව වාර්තා වේ.

සබැඳි පුවත්

මේ වෙලාවේ අලුත් ක්‍රීඩා පිටි ඉදිකිරීමට යාම විහිළුවක් - රොෂාන් මහානාම

තවත් ක්‍රීඩාංගනයක් ඕනෙද? - මහේල

බන්දුල ලොකුම ක්‍රිකට් පිටියේ වැඩ පටන්ගන්න ස්ථානීය පරික්ෂාවක

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top